ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 සැප්තැම්බර් මස 01 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Delhi’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 සැප්තැම්බර් 03) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී (PASSEX) නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර පණිවුඩ හුවමාරුව වැනි නාවික අභ්‍යාසයන් සාර්ථකව සිදු කරන ලද අතර, නෞකා අතර ආචාර සමාචාර සිදු කිරීමෙන් අනතුරුව, එම අභ්‍යාසය නිමාවට පත්විය.

එමෙන්ම, ‘INS Delhi’ නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පිළිබඳ නිරීක්‍ෂණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ජාතික ශිෂ්‍යභට බලකායේ සාමාජිකයන් හට අවස්ථාව හිමිවූ අතර, ‘INS Delhi’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළදී, දෙරටේ නාවික හමුදා‍වන් අතර සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කල විවිධ වැඩසටහන් සඳහා ‘INS Delhi’ නෞකාවේ නැව් මුළුව සහභාගී විය. එහිදී, වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා මෙන්ම, ඉන්දියානු සාමසාධක මෙහෙයුමේදි මියගිය ඉන්දියානු ජාතිකයින් සිහිකරමින් බත්තරමුල්ල රණවිරු ස්මාරකය ඉදිරිපිටදී පුෂ්පෝපහාර පුදකිරීමකටද නෞකාවේ නැව් මුළුව සහභාගී විය.

තවද, විදේශීය නාවික හමුදාවන්ට අයත් ‍නෞකා විසින් සිදුකරනු ලබන මෙවැනි සුහද සංචාර මඟින්, දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය හා සහයෝගීත්වය වැඩිදියුණු වන අතර, එම නෞකා සංචාරයන්ට සමගාමීව සිදු කරනු ලබන ඒකාබද්ධ නාවික අභ්‍යාස තුළින් හුවමාරු කරගනු ලබන නව දැනුම සහ අත්දැකීම්, ඉදිරියේදී සාගර කළාපයේ පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා මහඟු පිටුවහලක් ගෙනදෙනු ඇත.