කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 16 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

"ඩිජිටල්කරණය, තිරසාරභාවය සහ ආංශික පරිවර්තනය තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කර ගැනීම" යන තේමාව යටතේ පැවැත්වෙන කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 16 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව, ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ‍ගේ (විශ්‍රාමික) ගෞරවනීය සහභාගීත්වයෙන් 2023 සැප්තැම්බර් මස 07 වන දින එම විශ්වවිද්‍යාලිය ශ්‍රවණාගාරයේ දී ආරම්භ වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

ඒ අනුව, 2023 සැප්තැම්බර් 07 සහ 08 යන දෙදින පැවැත්වෙන මෙවර පර්යේෂණ සමුළුවේ තේමාවට අදාලව, ආරක්‍ෂක සහ උපායමාර්ගික අධ්‍යයනය, ඉංජිනේරු තාක්‍ෂණය, වෛද්‍ය විද්‍යාව, පරිගණක විද්‍යාව, නීතිය, සම සෞඛ්‍ය විද්‍යාව, තාක්‍ෂණය, අපරාධ යුක්තිය, නිර්මිත පරිසරය හා ව්‍යවහාරික විද්‍යාව, කළමනාකරණය, සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍ර ඇතුළු විවිධ විෂය ක්ෂේත්‍රයන්හී වෘත්තිකයන් සහ පර්යේෂකයන් විසින් සිදුකරන ලද පර්යේෂණ තුලින් ලබාගත් නව දැනුම සහ සොයාගැනීම් සම්බන්ධයෙන් දැනුම බෙදාගැනීම සඳහා මෙම සමුළුව මඟින් අවස්ථාව උදාවේ.

සමුළුව ආරම්භක දිනයේදී (2023 සැප්තැම්බර් 07) ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යයන විෂය ක්‍ෂේත්‍රය යටතේ, ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම යන තේමාව ඔස්සේ පැවති පූර්ණ සැසිය මෙහෙයවීම සඳහා සහභාගී වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එහිදී විද්වත් අදහස් දැක්වීමක් සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර, අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ විද්වතුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.