නාවික තාක්‍ෂණික ආයතනයේ පුහුණුව සම්පුර්ණ කළ ශිල්පීය අංශයේ නාවිකයන් 11 දෙනෙක් විසිර යති

වැලිසර, නාවික තාක්‍ෂණික ආයතනයේ 19 වන තාක්‍ෂණික පාඨමාළාව සාර්ථකව නිමකල ශිල්පීය අංශයේ නාවිකයන් 11 දෙනෙකු විසිරයාම අද දින (2023 සැප්තැම්බර් 08) වැලිසර පිහිටි නාවික තාක්ෂණික ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, රියර් අද්මිරාල් විරාජ් ලීලාරත්න ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

වැලිසර නාවික තාක්ෂණික ආයතනයේ වසර තුනක (03) කාලයක් පුරා පැවති නාවික තාක්‍ෂණික පාඨමාලාව සාර්ථකව හදාරා, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය මඟින් පිරිනමන ජාතික තාක්‍ෂණික ඩිප්ලෝමාව (National Diploma in Technology - NDT) සඳහා සුදුසුකම් ලැබූ ශිල්පීය අංශයේ නාවිකයින් 11 දෙනෙකු මෙලෙස විසිර ගිය අතර, පුහුණු කාලසීමාව තුළ විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත කුසලාන ප්‍රදානය කිරීම එහිදී ප්‍රධාන ආරාධිතයා විසින් සිදුකෙරිණි.

ඒ අනුව, නාවික තාක්‍ෂණික ආයතනයේ 19 වන බඳවා ගැනීමේ ශිල්පීය නාවිකයන් ගෙන් නාවික ඉංජිනේරු අංශයේ වැඩිම ලකුණු ලබා ගත් ශිල්පීය නාවිකයා හා දක්ෂතම ශිල්පීය නාවිකයා ලෙස පුහුණුවන එන්ජින් කාමර ශිල්පී I එල්ඩීආර් මදුශංක ද, විදුලි ඉංජිනේරු අංශයේ වැඩිම ලකුණු ලබා ගත් ශිල්පීය නාවිකයා ලෙස පුහුණුවන විදුලි ශිල්පී I එච්එම්පීවීඑම් හේරත් ද, නැව්බඳ කාර්මික අංශයේ වැඩිම ලකුණු ලබා ගත් ශිල්පීය නාවිකයා ලෙස පුහුණුවන නැව්බඳ කාර්මික ශිල්පී I ඩබ්එම්එස්බී වීරකෝන් සහ දක්ෂතම ඉලක්කකරු හා දක්ෂතම ක්‍රීඩකයා ලෙස පුහුණුවන විදුලි ශිල්පී I ඩබ්ඒසීඑස් තිලකරත්න විසින් ද, එහිදී ප්‍රධාන ආරාධිතයා වෙතින් කුසලාන හිමිකර ගන්නා ලදී.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ සංදර්ශනයකින් විචිත්‍රවත් වූ මෙම විසිර යාමේ පෙළපාලිය සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ, බටහිර නාවික විධානයේ සහ වැලිසර නාවික හමුදා සංකීර්ණයේ ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් ද සහභාගීවී සිටියහ.