නාවික හමුදාධිපති වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2023 සැප්තැම්බර් මස 09 සහ 10 දෙදින වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානය මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති නිරීක්‍ෂණය කර, වර්තමාන තත්ත්වය හමුවේ නාවික හමුදාවේ කාර්යය භාරය කාර්ක්‍ෂමව ඉටුකිරීම සඳහා කැපවිය යුතු ආකාරය සම්බන්ධයෙන් එම විධානයේ නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීම සිදුකෙරිණි.

ඒ අනුව, මෙම නිල සංචාරය ආරම්භ කරමින් 2023 සැප්තැම්බර් මස 09 වන දින වයඹ නාවික විධානයට අයත් කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය හා ඊට අයත් නාවික අනුඛණ්ඩ මඟින් සිදුකෙරෙන රාජකාරීන් නිරීක්‍ෂණය සඳහා නාවික හමුදාධිපති වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ වයඹ නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමඟ සහභාගීවිය. එහිදී, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අයත් ආනවාසල සහ උච්චමුණිය නාවික අනුඛණ්ඩ නිරීක්‍ෂණය කල නාවික හමුදාධිපති, විජය ආයතනයේ පරිපාලන හා සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් එම ආයතන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද පරිපාලන හා නවාතැන් පහසුකම් ගොඩනැගිල්ල විවෘත කර, එම ඉදිකිරීම් කඩිනමින් සම්පූර්ණ කිරීම සඳහා කැපවූ නාවික පුද්ගලයන් ඇගයීමද සිදුකෙරිණි. අනතුරුව, විජය ආයතනය මඟින් සිදුකරනු ලබන ආරක්‍ෂක රාජකාරීන්, සුභසාධන පහසුකම් සහ මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්‍ෂමව සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදුන් නාවික හමුදාධිපති, පුත්තලම ග‍ඟේවාඩිය ප්‍රදේශයේ පිහිටි ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානය නිරීක්‍ෂණය සඳහා සහභාගීවිය.

2023 සැප්තැම්බර් මස 10 වන දින විජය ආයතනය මඟින් පාලනය වන බත්තලංගුණ්ඩුව නාවික අනුඛණ්ඩය මඟින් සිදුකරනු ලබන ආරක්‍ෂක රාජකාරීන් සහ එහි නාවික පුද්ගලයන්ගේ සුභසාධන පහසුකම් නිරීක්‍ෂණය කල නාවික හමුදාධිපති, සිලාවතුර ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය සහ එමඟින් පාලනය වන අරිප්පු නාවික අනුඛණ්ඩය හා වෙරළ නිරීක්‍ෂණ මධ්‍යස්ථාන නිරීක්‍ෂණය කෙරිණි. අනතුරුව, ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනය මඟින් සිදුකරනු ලබන ආරක්‍ෂක රාජකාරීන් සහ එහි සුභසාධන පහසුකම් නිරීක්‍ෂණය සඳහා සහ පුත්තලම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනය මඟින් සිදුකරනු ලබන ආරක්‍ෂක රාජකාරීන් සහ මෙහෙයුම් කටයුතු නිරීක්‍ෂණය සඳහා සහභාගීවූ නාවික හමුදාධිපති, වෙරළ කලාපය ඔස්සේ සිදුකරනු ලබන ජාවාරම් ඇතුළු විවිධ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා වයඹ නාවික විධානයට අයත් ආයතන හා අනුඛණ්ඩ මඟින් සිදුකරනු ලබන ආරක්‍ෂක රාජකාරීන් සහ මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්‍ෂමව සහ ඵලදායි ලෙස සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකෙරිණි.

මෙම නිල සංචාරයේදී, වර්තමාන තත්ත්වය හමුවේ නාවික හමුදාවේ කාර්ය භාරය අපේක්‍ෂිත මට්ටමට කාර්යක්‍ෂමව ඉටුකිරීම සඳහා නිලධාරීන් සහ නාවිකයන් කැපවිය යුතු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා භරණ හා ථේරපුත්ත ආයතනයන්ට අයත් නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේදීද, ශ්‍රී ලංකා නාවික නෞකා විජය, තම්බපණ්ණි, නාවික ස්ථානගතකිරීම් මහව සහ ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනයේදීද නාවික හමුදාධිපති විසින් දැනුවත් කිරීමේ දේශණ පැවැත්වීමට කටයුතු කෙරිණි.

එහිදී, අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ආර්ථික අර්බුදයන්ට ලක්වූ ලොව අනෙකුත් රාජ්‍යයන්ට සාපේක්‍ෂව, රට ආර්ථික අභියෝග ජය ගනිමින් ක්‍රමයෙන් යථා තත්වයට පත්වන බවත්, නිසි කළමණාකරනයකින් හා කැපකිරීමකින් යුතුව තම පෞද්ගලික ආර්ථික කටයුතු සිදුකර නාවික හමුදාවේ කාර්ය භාරය අඛණ්ඩව ඉටු කිරීම සඳහා නාවික හමුදා පුද්ගලයන් රාජකාරියට කැපවිය යුතු බවත් පවසන ලදි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය වන විවිධ පදනම් විරහිත තොරතුරු මත නොමඟ යමින්, ආර්ථික දුෂ්කරතාවන් ගෙන් මිදීම සඳහා විදෙස් ගතවිම සඳහා ස්ථාවර ආදායමක් ඇති නාවික හමුදා සේවයෙන් ඉවත්වීමට උත්සාහ කිරීම මෙන්ම, ඒ සඳහා නිවාඩු රහිතව කඳවුරෙන් බැහැරව යාමට උත්සාහ කිරීමෙන් ‍වැලකිය යුතු බව අවධාරනය කරන ලදි. මේ සම්බන්ධයෙන් ආකල්පමය වෙනසක් සිදුකිරීම සඳහා නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව ප්‍රකාශ කල නාවික හමුදාධිපති, ඉහළ නංවන ලද සලාක දීමනාවෙන් මෙන්ම නාවික හමුදාව මඟින් ක්‍රීයාවට නංවා ඇති විවිධ සුභසාධන ව්‍යාපෘති මඟින්ද ආර්ථික දුශ්කරතා වෙනුවෙන් නාවික පුද්ගලයන් හට සහන සලසා ගතහැකි බව පවසන ලදි.

ආර්ථික අපහසුතාවන් ගෙන් මිදීම සඳහා පහසුවෙන් ගතහැකි වැරදි තීරණ ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු වලට සම්බන්ධවීමෙන් හෝ අනුබලදීමෙන් නාවික පුද්ගලයන් වැළකිය යුතු බවත්, තම පෞද්ගලික ආර්ථික ක‍ටයුතු මනාකළමණාකරනයකින් පවත්වා ගනිමින් පවුලේ සාමාජිකයන්ගේද සහයෝගීත්වයෙන් හා කැපවීමෙන් නීත්‍යානුකූලව අමතර අදායම් මාර්ග වෙත යොමුවීම සඳහා නාවික හමුදා පුද්ගලයන්හට අවකාශය ඇති බව පැවසූ නාවික හමුදාධිපති, මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම, නීති විරෝධී ධීවර කටයුතු ඇතුළු සම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග ජයගැනීම සඳහා නාවික හමුදාව විසින් සිදුකරනු ලබන මෙහෙයුම් අඛණ්ඩව සිදුකිරීම සඳහා, නිරවුල් මානසිකත්වයෙන් යුතුව රාජකාරීයට කැපවීම සෑම නාවික පුද්ගලයෙකු වෙතින්ම නාවික හමුදාව අපේක්‍ෂා කරන බවත් පවසන ලදි.

විවිධ බාහිර පාර්ශවයන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන පදනම් විරහිත තොරතුරු හමුවේ නොමඟ යමින්, තමන් ගොඩනගා ගත් චරිතය හා විනය කඩකරමින් පහසුවෙන් ගතහැකි වැරදි තීරණවෙත යොමු නොවී, අපහසු වුවත් නිවැරදි තීරණ ගනිමින් නාවික පුද්ගලයන් කෙරෙහි නාවික හමුදාව විසින් තබා ඇති විශ්වාසය තහවුරු වන ලෙස කටයුතු කරන ලෙසත්, නාවික විනය හා මනාපාලනය කඩනොවන ලෙස තම රාජකාරීන් හා වගකීම් ඉටුකිරීමට සැමවිටම උත්සාහ කලයුතු බවත් එහිදී නාවික හමුදාධිපති විසින් වැඩිදුරටත් අවධාරනය කරන ලදි.

තවද, නාවික හමුදාධිපතිගේ වයඹ නාවික විධාන නිල සංචාරය සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා රියර් අද්මිරාල් චන්දන රත්නායක, අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය, නාවික හමුදාධිපතිගේ නාවික සහායක සහ නාවික හමුදා ජලමානක ප්‍රධානී, කොමදෝරු ‍කෝසල වර්ණකුලසූරිය ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ වයඹ නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.