සමුද්‍රීය ව්‍යසන සඳහා ප්‍රතිචාර දැක්වීමේ ආයතනික රාමුව ශක්තිමත් කිරීමේ සාකච්ඡාවක් නාවික හමුදා මූලස්ථානයේදී

නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සේවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සෙවීම් හා මුදවා ගැනීම් කාර්ය භාරය සහ මුහුදේ සිදුවන ඕනෑම අනතුරකදී ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සම්බන්ධයෙන්, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සහ යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන් සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් 2023 සැප්තැම්බර් මස 06 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සහ සිවිල් ආරක්‍ෂක යාන්ත්‍රණය සම්බන්ධ සංගමය එක්ව (Union Civil Protection Mechanism - UCPM) මෙරට සමුද්‍රීය ව්‍යසන සඳහා ප්‍රථිචාර දැක්වීමේ යාන්ත්‍රණය සහ ආයතනික රාමුව ශක්තිමත් කිරීමේ අරමුණින්, 2023 සැප්තැම්බර් මස 04 වන දින සිට 15 වන දින දක්වා පැවැත්වෙන පාර්ශවකරුවන් සම්බන්ධීකරණය කිරීමේ විශේෂ සාකච්ඡා මාලාවට අනුව, නාවික හමුදා මූලස්ථාන‍යේදී පැවැත්වුණු මෙම විශේෂ සාකච්ඡාව සඳහා සමුද්‍රීය ආරක්‍ෂණ අධිකාරියේ සහ යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් සහභාගී වූ අතර, එම නියෝජිත පිරිස කොළඹ සමුද්‍රීය සේවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කිරීම ද සිදුකෙරිණි.

තවද, කොළඹ සමුද්‍රීය සේවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සෙවීම් හා මුදවා ගැනීම් හැකියාව සහ මුහුදේ ඉන්ධන කාන්දුවීමේ අනතුරකදී ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සම්බන්ධයෙන් එම නියෝජිත පිරිස දැනුවත් කිරීම එහිදී, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු අරුණ වීරසිංහ විසින් සිදුකෙරිණි.