ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් මාලාවක්

2023 සැප්තැම්බර් මස 16 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතිය නිමිත්තෙන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ පනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය නගර වෙරළ තීරයේ පැවති වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී වූ අතර, ඊට සමගාමීව නාවික හමුදාව විසින් සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි, වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතිය නිමිත්තෙන් 2023 සැප්තැම්බර් මස 16 වන දින බටහිර නාවික විධානය මඟින් කාක දූපත හා ගාලු මුවදොර වෙරළ තීරයත්, නැගෙනහිර නාවික විධානය මඟින් ඩච්බේ වෙරළ තීරයත්, උතුරු මැද නාවික විධානය මඟින් ඌරූමලේ වෙරළතීරය සහ වයඹ නාවික විධානය මඟින් හුනෙස් නගර් සිට කරදක්කුලිය දක්වා වූ වෙරළ තීරයත් කේන්ද්‍ර කර ගනිමින් මෙම වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන නාවික හමුදාධිපති ඇතුළු විධාන ආඥාපතිවරුන් සහ නාවික පුද්ගලයන් විශාල පිරිසක‍ගේ දායකත්වයෙන් සාර්ථකව ක්‍රියාත්මක කෙරුණු අතර, එමඟින් එම වෙරළ තීරයන්ගේ විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය රැසක් එක්රැස් කර එම අපද්‍රව්‍ය සාගරයට එක් නොවන ලෙස වෙරළ තීරයෙන් ඉවත් කර නිසි ලෙස බැහැර කිරීමට කටයුතු කෙරිණි.

තවද, ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතිය නිමිත්තෙන් නාවික හමුදාව මඟින් සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි කඩොලාන රෝපණය කිරීමේ වැඩසටහනක් මෙන්ම, පොලිතීන් හා ප්ලාස්ටික් ඝණ අපද්‍රව්‍ය වෙරළ පරිසර පද්ධතියට මුදා හැරීම අවම කිරීම සඳහා ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමටද නියමිතව ඇත.