බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නිලධාරීන් කණ්ඩායමක් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල නිලධාරීන් ගෙන් සමන්විත නිලධාරීන් කණ්ඩායමක් 2023 සැප්තැම්බර් මස 19 වන දින නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී එම නිලධාරී කණ්ඩායම් ප්‍රධානී විසින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න හමු විය.

බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් විසිපස් දෙනෙක් (25) සහ අධ්‍යන කාර්යමණ්ඩලයේ නිලධාරීන් සිව් දෙනෙක් (04) ගෙන් සමන්විත මෙම නිලධාරී කණ්ඩායම, 2023 සැප්තැම්බර් මස 16 වන දින සිට 22 වන දින දක්වා ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරය සිදු කරනු ලබන අතර, එම නිලධාරී කණ්ඩායමේ ප්‍රධානී ලෙස කපිතාන් Mohammad Faisal Haider Chawdhury කටයුතු කරනු ලබයි.

ඒ අනුව, මෙම නිලධාරී කණ්ඩායමේ ප්‍රධානී, කපිතාන් Mohammad Faisal Haider Chawdhury විසින් නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න හමුවී සුහද පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය සම්බන්ධයෙන් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක විසින් සිදු කල දේශනයක් සඳහාද බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නිලධාරීන් පිරිස සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු Md Shafiul Bari ද සහභාගී විය.