ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Nireekshak’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 සැප්තැම්බර් මස 14 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Nireekshak’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, 2023 සැප්තැම්බර් මස 21 වන දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම ත්‍රිකුණාමලය වරායේදී සිදු කෙරිණි.

Diving Support Vessel වර්ගයට අයත් ‘INS Nireekshak’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුල නාවික හමුදා කිමිදුම් අංශය සමඟ විශේෂ කිමිදුම් පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු කෙරිණි. එමෙන්ම, දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද පැසිපන්දු තරඟාවලියක්, යෝගා පුහුණු වැඩසටහනක් සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා නෞකාවේ නැව් මුළුව සහභාගී වූ අතර, දිවයිනේ වැදගත් ස්ථාන කිහිපයක සංචාරය කිරීමට මෙන්ම, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සමාජ සුභසාධන වැඩසටහන් සඳහා ද නෞකාවේ නැව් මුළුව දායක විය.

එමෙන්ම, ‘INS Nireekshak’ නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පිළිබඳ නිරීක්‍ෂණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණු වන නිලධාරීන් ඇතුළු නාවික හමුදා පුද්ගලයන්ට අවස්ථාව හිමි වූ අතර, නෞකාව නැරඹීම සඳහා පාසැල් දරුවන්ටද අවස්ථාව හිමි විය.

තවද, විදේශීය නාවික හමුදාවන්ට අයත් ‍නෞකා විසින් සිදුකරනු ලබන මෙවැනි සුහද සංචාර මඟින්, දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය හා සහයෝගීත්වය වැඩිදියුණු වන අතර, එම නෞකා සංචාරයන්ට සමගාමීව සිදු කරනු ලබන විශේෂ පුහුණු වැඩසටහන් තුළින් හුවමාරු කරගනු ලබන නව දැනුම සහ අත්දැකීම්, ඉදිරියේදී සාගර කළාපයේ පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා මහඟු පිටුවහලක් ගෙනදෙනු ඇත.