ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ඉන්දිය නාවික හමුදාව අතර 11 වන වරට පැවැත්වෙන මාණ්ඩලික සාකච්ඡාව කොළඹදී ආරම්භ වෙයි

ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ඉන්දිය නාවික හමුදාව අතර එකළොස් (11) වන වරට පැවැත්වෙන මාණ්ඩලික සාකච්ඡා වාරය (11th Navy to Navy Staff Talks – Indain Navy and Sri Lanka Navy) අද දින (2023 ඔක්තෝබර් 17) කොළඹ, ප්‍රදීපාගාර අවන්හලේදී ආරම්භ වුණු අතර, ඊට සමගාමීව ඉන්දීය නාවික හමුදා දූත මණ්ඩල ප්‍රධානී, රියර් අද්මිරාල් Nirbhay Bapna (Assistant Chief of Naval Staff – Foreign Cooperation and Liaison) විසින් අද දින (2023 ඔක්තෝබර් 17) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සමඟ නිල හමුවක් සිදුකෙරිණි.

මෙම සාකච්ඡා වාරය සඳහා ශ්‍රි ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා පාර්ශවය සහභාගී වූ අතර, ඉන්දීය නාවික හමුදාවේ රියර් අද්මිරාල් Nirbhay Bapna ගේ ප්‍රධානත්වයෙන් ඉන්දීය නාවික හමුදා පාර්ශවය සහභාගී විය.

මෙවර එකළොස් (11) වන සාකච්ඡා වාරය ආරම්භ කරමින්, පසුගිය වසරේ (2022) පැවති දහවන (10) මාණ්ඩලික සාකච්ඡා වාරයේ ප්‍රගතිය පිළිබඳ දෙපාර්ශවය අතර ප්‍රථමයෙන් අදහස් හුවමාරු කරගැනීම සිදුකෙරිණි. අනතුරුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර ද්විපාර්ශ්වික සබඳතා, සහයෝගීත්වය සහ අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම මෙන්ම, පුහුණු හුවමාරුව, තාක්‍ෂණික දැනුම හා තොරතුරු හුවමාරුව, ජලමාණක කටයුතු සිදුකිරීම, ඒකාබද්ධ අභ්‍යාස සිදුකිරීම ඇතුළු පුළුල් ක්‍ෂේත්‍රයක විෂයයන් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීම සිදුකෙරිණි.