ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS AIRAVAT’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Airavat’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ඔක්තෝබර් 18) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Landing Ship Tank – Large (LST - L) වර්ගයට අයත් ‘INS Airavat’ යුද නෞකාව, දිගින් මීටර් එකසිය විසි හතරයි දශම අටක් (124.8) හා නැව් මුළුව එකසීය හැත්තෑවක (170) ගෙන් සමත්විත වේ. නෞකාවේ අණදෙන නිලධාරී, ‍කොමාණ්ඩර් රින්දු බාබු (Commander Rindu Babu) සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා අතර, නිල හමුවක් අද උදෑසන (2023 ඔක්තෝබර් 18) බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරිණි.

තවද, ‘INS Airavat’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල පුහුණු වැඩසටහනක් පැවැත්වීමට සහ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇති අතර, නෞකාව 2023 ඔක්තෝබර් මස 19 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.