2023 අන්තර් විධාන සරඹ තරඟාවලියේ ප්‍රථම ස්ථානය දියත් විධානය විසින් හිමි කර ගනියි

මෙවර (2023) නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය, 2023 නොවැම්බර් මස 08 සහ 09 දෙදින ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූනු අතර, දියත් විධානය එහිදී 2023 අන්තර් විධාන සරඹ තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, මෙවර එකොළොස්වන (11) වරට පවත්වන ලද අන්තර් විධාන සරඹ තරඟාවලිය සඳහා දියත්, දකුණු, නැගෙනහිර, උතුරු, බටහිර, ගිණිකොණ, උතුරු මැද, වයඹ සහ පුහුණු යන විධානයන් නියෝජනය කරමින් කණ්ඩායම් නවයක් (09) සහ කාන්තා නාවිකයින් නි‍යෝජනය කරමින් එක් (01) කණ්ඩායමක් වශයෙන් කණ්ඩායම් දහයක් (10) සහභාගී විය.

තරඟාවලියේ කුසලාන හා සහතිකපත් ප්‍රදානය කිරීම දකුණු නාවික විධානයේ ආඥාපති විසින් සිදු කෙරිණි. ඒ අනුව, අන්තර් විධාන සරඹ තරඟාවලියේ ප්‍රථම ස්ථානයට හිමි කුසලානය දියත් විධානය විසින් හිමි කර ගත් අතර, දෙවන ස්ථානය කාන්තා නාවික කණ්ඩායමත්, තෙවන ස්ථානය දකුණු නාවික විධානයත් හිමි කර ගන්නා ලදී. තරඟාවලියේ දක්ෂතම අණදීමේ නිලධාරියාට හිමි කුසලානය දියත් විධානය නියෝජනය කළ ලුතිනන් නවීන් හෙට්ටිආරච්චි විසින් හිමි කර ගත් අතර, දක්ෂතම සරඹ ඉදිරිපත් කළ නාවිකයාට හිමි කුසලානය සාමාන්‍ය නැවි ආර්එම්ජේඑන් රත්නායක විසින් හිමිකරගන්නා ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා සියළුම නාවික විධාන නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, සරඹ උපදේශකයින් මෙන්ම යුද හා ගුවන් හමුදා සරඹ උපදේශකයින් ඇතුළු නාවික හමුදා පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.