ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති ඉන්දු ශාන්තිකර ජාත්‍යන්තර සමුද්‍රීය ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණය -2023 සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහභාගී වෙයි

ඉන්දු ශාන්තිකර ජාත්‍යන්තර සමුද්‍රීය ප්‍රදර්ශනය (Indo Pacific International Maritime Exposition -2023) සහ ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ඉන්දු ශාන්තිකර කලාපීය සමුද්‍රීය බල සම්මන්ත්‍රණය -2023 (Indo-Pacific Sea Power Conference - 2023), 2023 නොවැම්බර් මස 06 වන දින සිට 09 වන දින දක්වා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී සාර්ථකව පැවැත්වුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී තෙදිනක් (03) පුරා පැවති ඉන්දු ශාන්තිකර ජාත්‍යන්තර සමුද්‍රීය ප්‍රදර්ශනය 2023 ට සමඟාමීව, 'Fleet 2035: Sea Power and the Future of Maritime Warfare' යන තේමාව යටතේ ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව විසින් සංවිධානය කල සමුද්‍රීය බල සම්මන්ත්‍රණය, ලොව පුරා රාජ්‍යයන් 46 කට වැඩි සංඛ්‍යාවක ආරක්ෂක විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර, නාවික ප්‍රධානීන් 19 ක් ඇතුළුව රටවල් 25 ක නාවික හමුදා නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නාවික හමුදා නිලධාරීන් ඒ සඳහා සහාභාගී වූහ. සමුද්‍රීය වපසරිය පිළිබඳව පැවති උපායමාර්ගික සංවාද වැඩසටහන් සඳහා දායකවීමටත්, බෙන්ගාල බොක්ක ඇතුළු ඉන්දු ශාන්තිකර සාගර කළාපයේ සංකීර්ණ සමුද්‍රීය අභියෝග සාර්ථකව කළමනාකරණය කරගැනීම හා සාමූහිකව ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් එහිදී පාර්ශවකරුවන් හට අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව උදා කර දී තිබුණි.

සමුද්‍රීය බල සමුළුවට සමඟාමීව බෙන්ගාල බොක්ක මුහුදු කලාපය ආශ්‍රිත සමුද්‍රීය ආරක්ෂක තත්වය සහ බංගලාදේශය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින විසින් එම මුහුදු කලාපයේ අනුගමනය කරනු ලබන ආරක්ෂක ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා සහ අදහස් හුවමාරු කරගැනීම උදෙසා ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව විසින් 'Bay of Bengal Round table' සාකච්ඡා සැසිය සංවිධානය කෙරුණු අතර, ඒ සඳහා බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මොහාම්මඩ් නස්මුල් හසන් (Admiral Mohammad Nazmul Hassan), ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ මාලදිවයින නියෝජනය කරමින් නියෝජිතයෙක් සහභාගී විය. බෙන්ගාල බොක්ක මුහුදු කලාපය ආශ්‍රිත සමුද්‍රීය ආරක්ෂක තත්වය සහ පොදු සමුද්‍රීය අභියෝග මෙන්ම, එම අභියෝග සඳහා සාමූහිකව ප්‍රතිචාර දැක්වීමේ වැදගත්කම යන කාලීන වශයෙන් වැදගත් තේමාවක් ඔස්සේ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එහිදී අදහස් දැක්වීම සිදුකෙරිණි. එමෙන්ම, වර්ධනය වන සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග මෙන්ම, පිළිගත් ගෝලීය සමුද්‍රීය නීතිමය රාමුව අභියෝගයට ලක්වීම සහ දේශගුණික විපර්යාස මඟින් බෙන්ගාල බොක්ක මුහුදු කලාපය ආශ්‍රිත වෙරළබඩ රාජ්‍යයන් වෙත ඇතිකරන බලපෑම් පිළිබඳ අදහස් දැක්වූ නාවික හමුදාධිපති, දූපත් රාජ්‍යයක් වශයෙන් මුහුදේදී ජීවිත ආරක්ෂාව පිළිබඳ ඇති ජාත්‍යන්තර බැඳීමට අනුව ඒ සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම සම්බන්ධයෙන්ද එහිදී අදහස් දැක්වීම සිදුකෙරිණි.

මෙම සම්මන්ත්‍රණයට සමඟාමීව, පාකිස්තානු නාවික හමුදා ප්‍රධානී Admiral Naveed Ashraf, රාජකීය කැනේඩියානු නාවික හමුදාධිපති Vice Admiral Angus Topshee, බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී Admiral Mohammad Nazmul Hassan, ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයේ අණදෙන නිලධාරී, Admiral Samuel J. Paparo (Commander, US Pacific Fleet), ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා හත්වන නෞකා සමූහයේ අණදෙන නිලධාරී, Vice Admiral Karl Thomas (Commander, Seventh Fleet, United States) සහ රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ සමුද්‍රීය දේශ සීමා විධානයේ අණදෙන නිලධාරි Rear Admiral Justin Jones, සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර ද්විපාර්ශවික හමුවන් සිදු කෙරිණි. එහිදී, විදේශීය නාවික හමුදාවන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර පවත්නා දිගු කාලීන මිත්‍රශීලී සබඳතාවය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද අදහස් හුවමාරුවක් සිදුකෙරිණි.

මෙම සමුද්‍රීය ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබූ ඕස්ට්‍රේලියානු හමුදාමය නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව නිපැයුම් නැරඹීමේ අවස්ථාවටද නාවික හමුදාධිපති එක් වූ අතර, ඉන්දු ශාන්තිකර සාගර කළාපීය රාජ්‍යයන්ගේ නාවික හමුදා ප්‍රධානීන් රැසක් සහභාගී වූ ඉන්දු ශාන්තිකර ජාත්‍යන්තර සමුද්‍රීය ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණය 2023 සඳහා සහභාගි වීම මඟින් වැඩිදියුණු වන අන්‍යෝන්‍ය සහයොගීත්වය සහ ජාත්‍යන්තර සබඳතා තුළින් ඉදිරියේ දී සාගර කළාපයේ පොදු සමුද්‍රීය අභියෝග සඳහා සාමූහිකව ප්‍රතිචාර දක්වමින්, ඉන්දු ශාන්තිකර සාගර කළාපීය ආරක්‍ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වීමට පාර්ශවකරුවන් හට අවස්ථාව සැලසෙනු ඇත.