ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ විසි හත්වන (27) සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නිලධාරීන් සහ නාවිකයන් වෙත ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන්

නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ විසි හත්වන (27) සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නිලධාරීන් දෙදෙනෙක් (02) සහ නාවිකයන් තිස් හතර දෙනෙකු (34) වෙත ලාංඡන පැළඳවීමේ උත්සවය අද දින (2023 නොවැම්බර් 15) පුත්තලම, ග‍ඟේවාඩිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත පීරීස් ගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් පැවැත්විණි.

අනන්තයට එහා දිවෙන විජයග්‍රහණය කරා යන උදාර පාඨය රැගත් ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ දී මාස නවයක (09) කාල සීමාවක් පැවති මෙම පුහුණු පාඨමාලව තුලදී හදිසි සහ ස්වභාවික ආපදා තත්වයන්හි දී ආපදාවට පත්වන පිරිස් ඉන් මුදවා ගැනීම හා ඔවුන්ගේ ජීවිත සහ දේපල ආරක්ෂා කර අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සඳහා මනා ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවක් ලබා දීම සිදු කෙරිණි.

පුහුණු කාල සීමාව තුළදී විශේෂ කුසලතා දැක්වූ නිලධාරීන් සහ නාවිකයන් වෙත විශේෂ සම්මාන පිරිනැමීම එහිදී නාවික හමුදාධිපති විසින් සිදුකෙරිණි. ඒ අනුව, විශිෂ්ඨතම පුහුණුවන්නාට හිමි සම්මානය ලුතිනන් ජීආර්එස්ආර් තිලකරත්න විසින් හිමි කර ගත් අතර, දක්ෂතම යාත්‍රා හසුරවන්නාට හිමි සම්මානය ලුතිනන් ඩීජීවයිපී ප්‍රේමලාල් විසින් හිමිකරගන්නා ලදි. එමෙන්ම, දක්ෂතම ජීවිතාරක්ෂකයාට හිමි සම්මානය බලනැවි ආර්ජීආර් ජීවන්ත විසින් සහ දක්ෂතම ශාරීරීක යෝග්‍යවත් පුහුණුවන්නාට හිමි සම්මානය එහිදී බලනැවි එච්එම්එම්එන්බී හේරත් විසින් නාවික හමුදාධිපති වෙතින් හිමි කර ගන්නා ලදී.

එහිදී පුහුණුව අවසන් කල නාවික පුද්ගලයින් ඇමතූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ප්‍රථමයෙන් ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල නාවික පුද්ගලයින් වෙත සිය සුභාශිංසන පිරිනැමීමට කටයුතු කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, දශක තුනකට ආසන්න කාලයක් රට මුහුණ දුන් ත්‍රස්තවාදී ව්‍යසනයෙන් රට මුදවා ගැනීම වෙනුවෙන් සිදුකල මානූෂීය මෙහෙයුම විජයග්‍රහණයකින් අවසන් කිරීම සඳහා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය විසින් දැක්වූ අනභිභවනීය දායකත්වය අගය කර, මානුෂීය මෙහෙයුම හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල සියළුම වීරෝධාර ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝන සාමාජිකයන් කෘතවේදීව සිහිපත් කිරීමට කටයුතු කෙරිණි.

විශේෂයෙන්, ත්‍රස්තවාදීන්ගේ විවිධ උපාය උපක්‍රම සඳහා සාර්ථකව ප්‍රතිචාර දක්වමින්, සාගර කලාපය තුල සිදුකෙරුණු ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීම සඳහා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය, විශේෂ යාත්‍රා බලඝණය සහ හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ සාමාජිකයන්ගේ අප්‍රතිහත ධෛර්යය සහ කැපකිරීම ත්‍රස්තවාදය විජයග්‍රහණයකින් අවසන් කිරීමට තීරණාත්මක දායකත්වයක් ගෙනදුන් බවත්, විසි හත්වන (27) පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නාවික පුද්ගලයන් මෙම බලඝණයේ හා නාවික හමුදාවේ නාමය ඉදිරියට රැගෙන යාමට කැපවිය යුතු බවත් පවසන ලදී.

එමෙන්ම, පසුගිය වකවානුවේ රට මුහුණ දුන් සෞඛ්‍ය අභියෝග සහ ස්වභාවික ආපදා තත්වයන් සාර්ථකව කළමනාකරණය කල ආකාරයෙන්ම, වර්තමානයේ පවත්නා විවිධ දුෂ්කරතා ජයගනිමින් අධිෂ්ඨානශීලීව මව්බිමට සේවය කිරීමට කැපවිය යුතු බවට නාවික හමුදාධිපති විසින් අවධාරණය කෙරිණි.

ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝනයට තම දරුවන් එක් කර මව් බිම වෙත සුවිශේෂී සේවයක් සිදුකිරීම සඳහා තම දරුවන් දිරිමත් කල, පුහුණුව අවසන් කල නාවික පුද්ගලයන්ගේ දෙමව්පියන් වෙත සිය කෘතවේදීත්වය පලකල නාවික හමුදාධිපති, සාර්ථකව පුහුණුව අවසන් කිරීම සඳහා කැපවූ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ අණදෙන නලධාරී ඇතුළු පුහුණු කාර්යය මණ්ඩලය වෙත එහිදී සිය ප්‍රසංශාව පල කිරීමට කටයුතු කෙරිණි.

මෙම ලාංඡන පැළඳවීමේ උත්සව අවස්ථාවෙන් අනතුරුව, සිය පුහුණු වීමෙන් ලද පන්නරය විදහා දක්වමින් විසි හත්වන (27) සුදුසුකම් ලැබීමේ පාඨමාලාවට අයත් නාවික පුද්ගලයින් විසින් විශේෂ සංදර්ශණයක් සහ දියේ ගිලී ආපදාවට පත් පුද්ගලයින් වෙත සහන සැලසීමේ ප්‍රදර්ශනාත්මක මෙහෙයුමක් සිදුකෙරුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක්ද එක්විය.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ වයඹ නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් නදුන් රණවීර ඇතුළු යුද ගුවන් සහ පොලිසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන්ම විසි හත්වන (27) පුහුණු පාඨමාලාව සම්පූර්ණ කල නාවික පුද්ගලයන්ගේ දෙමව්පියන් සහ සමීපතමයින් පිරිසක් සහභාගී වී සිටියහ.