ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය වෙනුවෙන් කඤ්චුක පූජාව සහ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය අනුරාධපුර පුද බිමේදී

2023 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් කඤ්චුක පූජාව සහ නාවික ධජයන් වෙත සෙත් පැතීමේ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය මෙවරත් නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් 2023 නොවැම්බර් මස 16 වන දින සහ අද දින (2023 නොවැම්බර් 17) රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

73 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සූදානම් කර ඇත. එම වැඩසටහන් මාලාවේ බෞද්ධාගමික වැඩසටහන් ආරම්භ කරමින්, 2023 නොවැම්බර් මස 16 වන දින නාවික හමුදාධිපති විසින් රුවන්වැලි මහා සෑ චෛත්‍යාරාමාධිකාරී, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඥාණතිලක නායක ස්වාමීන් වහන්සේ ප්‍රථමයෙන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව, නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද කඤ්චුක පූජා පිංකම රුවන්වැලි මහා සෑ රදුන් අබියස දී බෞද්ධාගමික වත් පිළිවෙත් අනුගමනය කරමින් පැවැත්විණි. එහිදී, අලංකාරවත් පෙරහැරකින් රැගෙන ආ මීටර 300ක දිගකින් යුත් බෞද්ධ ධජයක් රුවන්වැලි මහ සෑ ගර්භය වටා පැළඳවීම නාවික හමුදාධිපති ප්‍රමුඛ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික හමුදා බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසින් සිදුකෙරිණි.

අනතුරුව, පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඥාණතිලක නායක ස්වාමීන් වහන්සේ ගේ අනුශාසනා පරිදි, මහා විහාර හා මහා පිරිවෙන් නියෝජ්‍ය පරිවේණාධිපති, රුවන්වැලි මහා සෑයේ තේවාව භාර, පූජ්‍ය කුඩා ගාලවැවේ ඥාණවිමල ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ ආගමික වතාවත් සිදුකර, පිරිකර සහ ගිලන්පස පුජා කිරීම බැති සිතින් සිදු කෙරිණි.

අද උදෑසන (2023 නොවැම්බර් 17) නාවික හමුදාධිපති විසින් අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක, ශ්‍රාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමි බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව, නාවික ධජයන් වෙත ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා නාවික ධජයන් විචිත්‍රවත් පෙරහැරක් මඟින් රැගෙනවිත් ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස තැන්පත් කිරීම සිදු කෙරිණි. අනතුරුව, උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, අනුරාධපුර ලංකාරාමාධිකාරී, පුජ්‍ය රැළපනාවේ ධම්මජෝති නායක ස්වාමීන් වහන්සේ විසින් නාවික ධජයන්ට ආශිර්වාද පතා පිරිත් සඡ්ඣායනය කර නාවික ධජයන් වෙත ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සිදු කෙරිණි.

එහිදී, නාවික හමුදාධිපති ගේ ආරාධනයෙන්, අටමස්ථානාධිපති, අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ගේ අනුශාසනා පරිදි, උතුරු සහ උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය, පූජ්‍ය නුගේතැන්නේ මංගල ධර්මකීර්ති ශ්‍රී සෝභිත රතනජෝති පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ විසින්, හැත්තෑ තුන් වසරක් පුරා නාවික හමුදාව පැමිණි දීර්ඝ ඉතිහාසය තුළ මව්බිමෙහි ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සහ රණක්ෂිතයට පත් වූ සියළුම විරෝධාර නාවික හමුදා විරුවන් වෙත පුණ්‍යානුමෝදනා සිදු කෙරිණි. එමෙන්ම, වසර 73ක කාලයක් සිදුකල ආකාරයෙන්ම ඉදිරියටත් මාතෘභූමිය රැක ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට ශක්තිය, බලය සහ ධෛර්යය නිරතුරුව ලැබේවායි ආශීර්වාද ප්‍රාර්ථනා කරමින්, නාවික හමුදාධිපති ඇතුළු සියළුම නාවික හමුදා පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගේ ඉදිරි කටයුතු සාර්ථකත්වය උදෙසා ආශිර්වාද ප්‍රාර්ථනා සිදු කෙරිණි.

මෙම ආගමික වැඩසටහන සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති හා නාවික හමුදා ‍ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ඇතුළු නාවික හමුදා ‍ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ ඇතුළු විධාන ආඥාපති වරුන් හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, නාවික හමුදා මූලස්ථානය සහ උතුරු මැද නාවික විධානය ඇතුළු සියළුම නාවික විධානයන්ට අනුයුක්ත ධජ නිලධාරීන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් පිරිසක්ද සහභාගී වී සිටියහ.