33 වන කනිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති 33 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වූ අතර, එහි සහතිකපත් ප්‍රදානෝත්සවය 2023 නොවැම්බර් මස 18 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

නාවික හමුදාවේ කාර්යය හා කර්තව්‍ය කාර්යක්ෂමව හා ඵලදායි ලෙස ඉටුකිරීම සඳහා අවශ්‍ය උපායමාර්ගික තීරණ ගැනීමේදී, කනිෂ්ඨ නිලධාරීන් හට මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා මඟහරවා ගැනීමට හැකියාව ඇති, සහ වගකීම් දැරීමට හැකි දැනුමින් පිරිපුන් නායකයින් හැඩගැස්වීමේ අරමුණින්, කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී වාර්ෂිකව පවත්වනු ලබයි.

ඒ අනුව, 2023 ජුලි මස 11 වන දින ආරම්භ කෙරුණු මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ එක් (01) නිලධාරියෙකු, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එක් (01) නිලධාරියෙකු සහ නාවික හමුදාවේ නිලධාරීන් පහළොස් දෙනෙකු (15) ඇතුළු ශිෂ්‍ය නිලධාරීන් දහහත් දෙනෙකු (17) සහභාගී විය. මෙම සහතික ප්‍රදානොත්සවයේදී, ලුතිනන් කොමාණ්ඩර් එන්එන් වික්‍රමසූරිය විසින් සියලුම විෂයයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍ය නිලධාරියා ලෙස සහ හොඳම ආඥාපති නිබන්දනය ඉදිරිපත් කල ශිෂ්‍ය නිලධාරියා වශයෙන් සම්මාන දිනාගැනීමට සමත් වූ අතර, ලුතිනන් කොමාණ්ඩර් ඩීජේකේඑස් සිරිවර්ධන විසින් හොඳම ඉදිරිපත් කරන්නාට හිමි සම්මානය දිනාගැනීමටත් සමත්විය.

තවද, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවේ උපදේශක කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.