73 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ඒකාබද්ධ ක්‍රිස්තියානි සැමරුම් හා තුති පුද කිරීමේ දේව මෙහෙයක්

2023 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ ඒකාබද්ධ ක්‍රිස්තියානි සැමරුම් හා තුති පුද කිරීමේ දේව මෙහෙය, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන්, 2023 නොවැම්බර් මස 21 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් බොරැල්ල, සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේදී පැවැත්විණි.

1991 වර්ෂයේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමය, ඉහළම නාවික චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රදායන්ට අනුකූලව අඛණ්ඩව වසර 32ක් පුරා ඒකාබද්ධ සැමරුම් හා ස්තුති කිරීමේ දේව මෙහෙය පවත්වා ඇත. මෙම ඒකාබද්ධ සැමරුම් දේව මෙහෙය, අතිඋතුම් ගාල්ල රදගුරු ආචාර්ය රේමන්ඩ් වික්‍රමසිංහ හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් සහ රෝමානු කතෝලික පල්ලියේ, ලංකා දේවස්ථානයේ රදගුරුතුමා සහ මෙතෝදිස්ත සහ බැප්ටිස්ට් දේවස්ථානයන්ගේ නියෝජිතයින්ගේ කාරුණික පැමිණීම සහ යාඥාවන් සමඟින් ඉතාමත් ගාම්භීර අන්දමින් පැවැත්විණි.

"මුහුදේ ආරක්ෂකයා වන ඔබ සමඟ අපගේ ස්වාමීන් වහන්සේගේ සාමය සහ ශක්තිය වේවා" යනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව අත්පත් කරගත් සියලු ජයග්‍රහණ වෙනුවෙන් දෙවියන් වහන්සේ වෙත ප්‍රශංසා කරමින් තුති පුද කළ අතිඋතුම් ආචාර්ය රේමන්ඩ් වික්‍රමසිංහ පියතුමා, මාතෘභූමිය වෙත සාමය උදාකරදීම වෙනුවෙන් උතුම් කැපකිරීම් කළ සියළුම දෙනා ගෞරවපූර්වකව සිහිපත් කරමින්, නාවික හමුදා ධජය හා නාවික හමුදා විධාන ධජයන් වෙත ක්‍රිස්තියානි ආගමික වත් පිළිවෙත් අනුකූලව ආශිර්වාද ප්‍රාර්ථනා සිදුකෙරිණි. එමෙන්ම, 73 වසරක නාවික හමුදා ඉතිහාසය තුළ මව්බිමේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සහ රණක්ෂිතයට පත්වූ වීරෝධාර නාවික හමුදා රණවිරුවන් හට මෙන්ම, දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්හටත්, සමස්ථ නාවික හමුදාවටත් ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි.

තවද, මෙම දේව මෙහෙය සඳහා අද්මිරාල් බැසිල් ගුණසේකර (විශ්‍රාමික) ඇතුළු හිටපු නාවික හමුදාධිපතිවරුන් හා විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති හා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ඇතුළු නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා ඇතුළු විධාන ආඥාපතිවරුන්, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, නාවික හමුදා සේවා වනිතා විධායක කමිටු සාමාජිකාවන්, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානයට හා බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.