ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පුණ්‍යකර්මයක්‌ වැලිසර නාවික සංකීර්ණයේදී

2023 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා, සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ දානමය පුණ්‍යකර්මයක්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් 2023 නොවැම්බර් මස 24 සහ අද දින (2023 නොවැම්බර් 25 ) වැලිසර නාවික සංකීර්ණයේදී පැවැත්විණි.

නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ කාරක සංඝ සභික, වැලිසර මූලගන්ධකුටි පිරිවෙන් මහා විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති, ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත කෙරවලපිටියේ සුමේද මාහිමිපාණන් ගේ අනුශාසනා පරිදි, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, බටහිර නාවික විධානයේ ආඥාපතිගේ සහ වැලිසර නාවික සංකීර්ණයේ අණභාර නිලධාරිගේ අධීක්‍ෂණයෙන් මෙම සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව සහ දානමය පුණ්‍යකර්මය පැවැත්වීම, නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් සහ සංවිධායකත්වයෙන් සිදු කෙරිණි.

මෙම බෞද්ධාගමික වැඩසටහන ආරම්භ කරමින් 2023 නොවැම්බර් මස 24 වන දින සන්ධ්‍යාවේ වැලිසර නාවික රණවිරු ස්මාරකය අභියස මල්කළඹක් තැන්පත් කර පහන් දල්වා රට වෙනුවෙන් දිවිපිදු සහ අතුරුදහන් වූ වීරෝධාර නාවික හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීම සිදු කෙරිණි. අනතුරුව, මහබාගේ මූලඝන්ධකුටි විහාරස්ථානයේ සිට සාම්ප්‍රදායික නර්තනාංගයන්ගෙන් සමන්විත විචිත්‍රවත් පෙරහැරකින් වැලිසර නාවික සංකීර්ණය වෙත වැඩම කරවූ සධාතුක කරඬුව හා පිරුවානා පොත් වහන්සේ, නාවික හමුදාධිපති විසින් පිරිත් මණ්ඩපයෙහි තැම්පත් කිරීමෙන් අනතුරුව, සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාව ආරම්භ කෙරිණි.

අද දින (2023 නොවැම්බර් 25) දහවල් මහභාගේ මූලගන්ධකුටි විහාරස්ථානයේ සිට වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නය 73 නමක් වෙනුවෙන් වැලිසර නාවික සංකීර්ණයේදී දහවල් දානය සහ පිරිකර පූජාකිරීමේ පුණ්‍යකර්මය නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් බෞද්ධාගාමික වත් පිළිවෙත් වලට අනුකූලව බැති සිතින් සිදු කෙරුණු අතර, එහිදී ගරුතර මහා සංඝරත්නය විසින් රට වෙනුවෙන් දිවිපිදු සහ රණක්ෂිතයට පත් වීරෝධාර නාවික හමුදා රණවිරුවන් ‍වෙත මෙන්ම, නාවික හමුදාධිපති ඇතුළු දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙතත්, සමස්ථ නාවික හමුදාවටත් 73 වන සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සිදු කෙරිණි.

තවද, මෙම බෞද්ධාගමික වැඩසටහන සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු හා නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති රියර් අද්මිරාල් රවී රණසිංහ, බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා ඇතුළු නාවික හමුදා විධාන ආඥාපතිවරුන්, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, ධජ නිලධාරීන් ඇතුළු බටහිර නාවික විධානයේ සහ නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.