73 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේදී දේව මෙහෙයක්

2023 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ ඉස්ලාම් දේව මෙහෙය අද දින (2023 ‍දෙසැම්බර් 02) කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කර ඇත. එම ආගමික වැඩසටහන් මාලාව ආරම්භ කරමින්, කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී 2023 නොවැම්බර් මස 16 සහ 17 දෙදින ද, ක්‍රිස්තියානි දේව මෙහෙය බොරැල්ල, සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේදී නොවැම්බර් මස 21 වන දිනද, සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා ගරුතර මහා සංඝරත්නය උදෙසා දානය පූජා කිරීමේ පුන්‍යකර්මය, වැලිසර නාවික සංකීර්ණයේදී 2023 නොවැම්බර් මස 24 සහ 25 දෙදින සහ හින්දු ආගමික වැඩසටහන 2023 ‍දෙසැම්බර් මස 01 වන දින කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් දේවස්ථානයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු, රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය ගේ ප්‍රධානත්වයෙන්, නාවික හමුදාවට අශිර්වාද පතා අද දින (2023 ‍දෙසැම්බර් 02) කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේදී ආෂික් අම්හර් මව්ලවිතුමාගේ මෙහෙයවීමෙන් පැවති ඉස්ලාම් දේව මෙහෙය මඟින්, රට වෙනුවෙන් දිවිපිදු සහ අබාධිත තත්වයට පත්වූ වීරෝධාර නාවික රණවිරුවන්හට මෙන්ම දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්හටත්, සමස්ථ නාවික හමුදාවටත් 73 වන සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ නාවික පුහුණු කොමදෝරු බුද්ධික ජයවීර, වැඩ බලන අධ්‍යක්‍ෂ නාවික විදේශ මිලදීගැනීම් කපිතාන් ප්‍රෂාන් මාසෝ, ශ්‍රි ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් චාරක හේරත් සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ක්‍රීඩා කපිතාන් ඇන්ටන් ප්‍රනාන්දු ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.