නාවික හමුදා කථික තරඟාවලියේ සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්‍රධානය කෙරේ

ශ්‍රි ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් සංවිධානය කරනු ලැබූ නාවික හමුදා කථික තරඟාවලිය - 2023 (Public Speaking Competition - 2023) සහ 2023 වර්ෂයේ පවත්වන ලද අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්‍රධානය කිරීම, 2023 දෙසැම්බර් මස 01 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ හා අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු (නැසීගිය) ගේ මැතිනිය, මොනිකා ප්‍රනාන්දු මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදි සිදුකෙරිණි.

නාවික හමුදා පුද්ගලයින්ගේ නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීම සහ ශාස්ත්‍රීය ලිවීමේ හැකියාව වර්ධනය කිරීම අරමුණු කර ගනිමින්, නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් මෙම කථික තරඟාවලිය ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් වශයෙන් කාණ්ඩ දෙකක් (02) යටතේ සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලිය ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයන් වශයෙන් කාණ්ඩ තුනක් (03) යටතේ වාර්ෂිකව පවත්වනු ලබයි.

ඒ අනුව, 2023 දෙසැම්බර් මස 01 වන දින පැවති, නාවික හමුදා කථික තරඟාවලිය - 2023 හි අවසන් තරඟයෙන්, සුවිශේෂි දක්‍ෂතා පෙන්නුම් කර පළමු, දෙවන හා තෙවන ස්ථානයන් ලබාගත් නිලධාරීන් වෙත සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ නාවික හමුදා පුද්ගලයින් වෙත සහතික පත් හා පිළිවෙලින් රුපියල් 100,000.00, 75,000.00 සහ 50,000.00 බැගින් මුදල් ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා කථික තරඟාවලියේ ජ්‍යේෂ්ඨ නිලධාරි අංශයේ ප්‍රථම ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් ඒඩබ්එම්අයි විජේකෝන් විසින් හිමිකර ගත් අතර, එහි දෙවන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් ටීඒගමගේ විසින් ද, තෙවන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් ඒඑම්එම්එල්බී අබේකෝන් විසින් ද හිමිකර ගැනීමට සමත් විය.

කථික තරඟාවලියේ කණිෂ්ඨ නිලධාරි අංශයේ ප්‍රථම ස්ථානය උප ලුතිනන් ඩීඑම්එස්පී ජයලත් විසින් හිමිකර ගත් අතර, එහි දෙවන ස්ථානය ලුතිනන් පීඒඑස්ටී පෙරේරා විසින් ද, තෙවන ස්ථානය උප ලුතිනන් කේඑම්එන්එස්එම් බංඩාර විසින්ද හිමිකර ගන්නා ලදී.

නාවික හමුදා කථික තරඟාවලිය - 2023 හි විනිශ්චය මණ්ඩලය ලෙස අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ, අධ්‍යක්‍ෂ නාවික ඉංජිනේරු, කොමදෝරු චින්තක රාජපක්‍ෂ, ටෝස්ට්මාස්ටර්ස් ඉන්ටර්නැශනල් සාමාජයේ (Toastmasters Internationals) ෆහාස් ෆාරුක් මහතා සහ රසික සේනාරත්න මහතා කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා පුද්ගලයින්ගේ ශාස්ත්‍රීය ලිවීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ අරමුණෙන් 2023 වර්ෂයේ පවත්වන ලද අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු රචනා තරඟාවලියේ, කොමාණ්ඩර් නිලයෙන් ඉහළ අංශයේ ප්‍රථම ස්ථානය කොමාණ්ඩර් ජේඑස්ඩී සිල්වා විසින්ද, එහි දෙවන ස්ථානය කොමාණ්ඩර් ඩබ්ඒකේඑල්පී වික්‍රමසිංහ විසින් සහ තෙවන ස්ථානය කොමාණ්ඩර් ඩබ්පීසී විජේසුන්දර විසින් ද හිමිකර ගැනීමට සමත් විය.

රචනා තරඟාවලියේ ලුතිනන් කොමාණ්ඩර් නිලයෙන් පහළ නිලධාරී අංශයේ ප්‍රථම ස්ථානය කොමාණ්ඩර් ඩබ්පීපීඑන් පෙරේරා විසින් හිමිකර ගත් අතර, එහි දෙවන ස්ථානය ලුතිනන් එල්සී මනම්පේරි විසින් ද, තෙවන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් ඩබ්ඩී තිසේරා විසින් ද හිමිකර ගැනීමට සමත් විය.

රචනා තරඟාවලියේ නාවිකයන්ගේ අංශයේ ප්‍රථම ස්ථානය සුළු නිලධාරී (සංඥා) ඩීආර් ජයසිංහ විසින්ද, දෙවන ස්ථානය ගබඩා සහකාර බීජීඒකේ තිලකරත්න විසින් ද, තෙවන ස්ථානය සාමාන්‍ය නැවි පීඑස් කාවින්ද විසින් ද හිමිකර ගැනීමට සමත් විය.

මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, කථිකත්වය තුලින් අරමුණු කරා කණ්ඩායම මෙහෙයවීමට බලපෑම් කලහැකි, පෙළඹවිය හැකි ඉතා හොඳ නායකයෙකු බිහිවන බව පවසන ලදි. තම කණ්ඩායම නිවැරදි දිශානතියට මෙහෙයවීම සඳහා අවශ්‍ය පණිවිඩය ලබාදීමට නොහැකි නම්, නායකත්වය ගිලිහෙන බවත්, කුමන මට්ටමක සිටියත් තම කණ්ඩායමට නායකත්වය දීමට නොහැකිවන බවත් පවසන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, නාවික හමුදාව ඉදිරියට මෙහෙයවිය හැකි, ඉදිරියට රැගෙන යාහැකි නායකත්ව ගුණාංග සහිත නායකයින් ගොඩනැගීම මෙවැනි කථික තරගාවලි තුලින් නාවික හමුදාව අපේක්‍ෂා කරන බවත්, ඉදිරියේදී ස්ථාපනය කරනු ලබන විද්‍යුත් පුස්ථකාලය මඟින් සෑම නිළයකම නිලධාරීන් හටත්, සෑම තරාතිරමකම නාවිකයන් හටත් නිශ්චිත කියවීමේ පොත් මාලාවක් හඳුන්වා දෙන බවත්, කියවීමෙන් වර්ධනය වන නව දැනුම තුලින් වෘත්තීය නිපුණ නායකයින් නාවික හමුදාව වෙත බිහිකිරීම අපේක්‍ෂා කරන බවත් පවසන ලදි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, බටහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන රියර් අද්මිරාල් නලීන්ද්‍ර ජයසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා රියර් අද්මිරාල් ජනක මාරඹේ, නාවික පර්යේෂණ අංශයේ ප්‍රධානී, කපිතාන් ප්‍රසාද් ජයසිංහ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ නිලධාරීන් හා නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.