73 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා ගිලන්පස බුද්ධ පූජාවක් සහ දානමය පුන්‍යකර්මයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සර්ව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරුණු අතර, එම ආගමික වැඩසටහන් මාලාවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වීම 2023 දෙසැම්බර් මස 08 වන දින සහ දළඳා සමිඳුන් උදෙසා දානමය පුණ්‍යකර්මය පැවැත්වීම අද දින (2023 දෙසැම්බර් 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව වසර 73 ක් පුරා පැමිණි දීර්ඝ ගමන් මගෙහිදී මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල හා රණක්‍ෂිතයට පත් වීරෝධාර නාවික හමුදා රණවිරුවන් හට මෙන්ම දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්හටත්, සමස්ත නාවික හමුදාවටත් සෙත්පතා නාවික හමුදාව විසින් මෙම සර්ව ආගමික වැඩසටහන් මාලාව පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරිණි.

ඒ අනුව, එම ආගමික වැඩසටහන් මාලාව යටතේ, ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වෙත ගිලන්පස බුද්ධ පූජාව පිරිනැමීම 2023 දෙසැම්බර් මස 08 වන දින සන්ධ්‍යාවේ බෞද්ධාගමික වත්පිළිවෙත් අනුගමනය කරමින් සිදුකෙරිණි. අද දින (2023 දෙසැම්බර් 09) උදෑසන නාවික හමුදාධිපති විසින් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහනායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහනායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගැනීම සිදු කෙරිණි. එමෙන්ම, නාවික හමුදාධිපති විසින් මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික, ශ්‍රී දළඳා මාලිගාවේ තේවා කටයුතු භාර පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මල්වතු පාර්ශවයේ අනුනායක, අතිපූජ්‍ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අභිධාන අනුනාහිමි, මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන නාහිමිපානන්, අස්ගිරි පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය වේඬරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල උපාලි නාහිමිපානන්, අස්ගිරි පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමිපානන් ඇතුළු මල්වතු හා අස්ගිරි පාර්ශවයේ ගරුතර මහ සංඝරත්නය බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව, ගරුතර මහා සංඝරත්නය විසිපස් (25) නමක් විෂයෙහි දානය පිරිනැමිමේ පුණ්‍යකර්මය බැති සිතින් සිදුකෙරිණි.

එහිදී, ගරුතර මහා සංඝරත්නය විසින් මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝධාර නාවික හමුදා විරුවන් අනුස්මරණය කරමින් සහ වත්මන් නාවික හමුදාධිපති ඇතුළු සේවයේ යෙදී සිටින සියළුම නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත මෙන්ම, සමස්ත නාවික හමුදාවට 73 වන සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු සහ නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති රියර් අද්මිරාල් රවී රණසිංහ ඇතුළු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, විධාන ආඥාපතිවරුන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, ධජ නිලධාරීන් ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.