සමුගැනීමේ හා හඳුන්වාදීමේ නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන Captain Ian Cain සහ නව ආරක්‍ෂක උපදේශක වශයෙන් පත්වීමට නියමිත Colonel Amanda Johnston සමුගැනීමේ හා හඳුන්වාදීමේ නිල හමුවක් සඳහා අද දින (2023 දෙසැම්බර් 15) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

ඒ අනුව, නාවික හමුදාධිපති විසින් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ වත්මන් ආරක්‍ෂක උපදේශක සහ පත්වීමට නියමිත නව ආරක්‍ෂක උපදේශක නිලධාරීන් නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සුහද පිළිසඳරක් පැවැත්විණි.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස Captain Ian Cain සිය රාජකාරී කාලසීමාව තුලදී ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් ඔහු වෙත සිය කෘතවේදීත්වය පල කර ඉදිරි කටයුතු සඳහා ශුභාශිංසන පිරිනැමීමද මෙහිදී සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.