පාලක ප්‍රධාන සුළු නිලධාරි ඩබ්එම්ජීඒ කුමාර නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ලෙස පත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ නාවිකයන් හට පිළිගැනීමක් ලබා දීම වෙනුවෙන්, හඳුන්වා දුන් නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි (MASTER CHIEF PETTY OFFICER OF NAVY - MCPON) තනතුර සඳහා පාලක ප්‍රධාන සුළු නිලධාරි ඩබ්එම්ජීඒ කුමාර යන ජ්‍යේෂ්ඨ නාවිකයා අද දින (2023 දෙසැම්බර් 19) පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එම නව තනතුරට අදාල අත් පළඳනාව සහ යෂ්ඨිය නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ඩබ්එම්ජීඒ කුමාර වෙත පිරිනැමීම, නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

නාවිකයන්ගේ සුභසාධන, පුහුණුවීම සහ පරිපාලනමය කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම සහ ගුණාත්මක භාවය වර්ධනය කිරීම සඳහා නිසි මඟින් නාවික හමුදාධිපතිගේ අවධානය පිණිස යොමු කිරීම මෙම නව තනතුර හඳුන්වා දීමෙන් නාවික හමුදාව අපේක්ෂා කරනු ලබන අතර, එම තනතුර සඳහා පත්වන ජ්‍යේෂ්ඨ නාවිකයා විසින් රාජකාරී උත්සව, සරඹ සහ වෙනත් එවැනි අවස්ථාවන්හීදී නාවික හමුදාව නියෝජනය කරනු ලබන ජ්‍යේෂ්ඨතම නාවිකයා ලෙස කටයුතු කරනු ලබයි.

මෙම නව තනතුර සඳහා තෝරා ගැනීමේදී; අවම වශයෙන් වසර 20 ක අඛණ්ඩ නිකැළැල් සේවා කාලයක් තිබීම, විවාහක නාවික පුද්ගලයෙකු වීම, අවම වශයෙන් වසරක මුහුදු සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා යාත්‍රික අංශයේ නාවිකයෙකු හට අවම වශයෙන් වසර 04 ක මුහුදු සේවා කාලයක් තිබිය යුතු වීම, සේවා කාලය තුළ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයන් අඛණ්ඩව සමත් වීම හා නියමිත ශරීර ස්කන්ධ දර්ශකය තිබීම, තේරි පත් වන දිනට අවම වශයෙන් තම අංශයේ වසර 15 කට වැඩි කාලසීමාවක් රාජකාරි සිදු කර තිබීම, සේවා කාලය තුළ අඛණ්ඩව වසරකට වැඩි කාලයක් දීර්ඝ ගිලන් ලැයිස්තුවේ නොසීටීම හා දීර්ඝ ගිලන් ලැයිස්තුවේ සිටින ජ්‍යේෂ්ඨ නාවිකයෙකු නොවීම, අවම වශයෙන් වසරකට වැඩි කාලයක් ප්‍රධාන විනය පාලක හෝ පුහුණු ආයතනයක ජ්‍යේෂ්ඨ පුහුණු උපදේශකයෙකු හෝ ප්‍රධාන වැඩපලක වැඩ භූමියක ජ්‍යේෂ්ඨ නාවිකයෙකු ලෙස හෝ නාවික රෝහලක ජ්‍යේෂ්ඨ නාවිකයෙකු වශයෙන් කටයුතු කර තිබීම, හොඳ සවන්දීමේ හා අන්තර් පුද්ගල සම්බන්ධතා ඇති අයෙකු වීම සහ සිංහල භාෂාවට අමතරව ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කිරීමේ හැකියාව යනාදී කරුණු පිළිබඳව තේරීම් මණ්ඩලය විසින් සැළකිල්ලට ගනු ලබයි.

තවද, මෙම නව තනතුරට පත්වීම සම්බන්ධයෙන් නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ඩබ්එම්ජීඒ කුමාර වෙත සුභපැතු නාවික හමුදාධිපති, මෙම නව තනතුරේ වැදගත්කම සහ එහි රාජකාරි කටයුතු සිදුකල යුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කීරීමක් සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, අධ්‍යක්‍ෂ නාවික පුද්ගල කොමදෝරු රාජප්‍රිය සේරසිංහ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.