73 වන නාවික හමුදා සංවත්සර දිනය වෙනුවෙන් නාවිකයන්ගේ සුහද හමුව උත්කර්ෂවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සර දිනය සැමරීම සඳහා ආගමික සහ නාවික හමුදා සම්ප්‍රදායන්ට මුල්තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරුණු අතර, එම වැඩසටහන් මාලාවේ නාවිකයන්ගේ සුහද හමුව අද දින (2023 දෙසැම්බර් 20) වැලිසර නාවික හමුදා පරිශ්‍රයේ Wave ‘N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

“නිල් රැල්ලේ චමත්කාරය” යන තේමා පාඨය මුල්කර ගනිමින් සංවිධානය කල මෙම සුහද හමුව, නාවික හමුදාවෙන් විශ්‍රාම ලබා සිටින ජ්‍යේෂ්ඨ නාවිකයන් සහ සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් පැමිණි සේවයේ නියුතු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් නාවික හමුදාවේ කාර්යය භාරය ඉටුකිරීම වෙනුවෙන් කැපවී කල සේවය හා ඉටුකරනු ලබන සේවය ඇගයීම වෙනුවෙන් සංවිධානය කෙරුණු අතර, විශ්‍රාමික සහ සේවයේ නියුතු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් හට තම සේවා අත්දැකීම් පිළිබඳ සුහදව අදහස් හුවමාරු කරගැනීමටත්, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නාවිකයන් හට සුහද හමුව අමතමින් තම නාවික හමුදා ජීවිතයේ සහ විශ්‍රාමික දිවියේ අත්දැකීම් බෙදාහදා ගැනීමටද එහිදී අවස්ථාව උදාවිය.

නාවික හමුදා සංස්කෘතික වාදක හා නර්තන අංශයේ ගායන, වාදන සහ නර්තන අංගයන් ගෙන් විචිත්‍රවත් වූ මෙම සුහද හමුවේදී, නාවික හමුදා දිනය වෙනුවෙන් පිරිනමනු ලබන සාම්ප්‍රදායික බඩාකානා ආහාරය ලබාගැනීම, නාවික හමුදාධිපති, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ සුහද හමුව සඳහා සහභාගී වූ නාවික හමුදා පුද්ගලයන් එක්ව නාවික සම්ප්‍රදායානුකූලව සිදුකෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, දේශයේ සමුද්‍රීය අභිලාශය ශාක්ෂාත් කරගැනීම වෙනුවෙන්, නාවික හමුදාවට අනන්‍ය, හමුදාමය, රාජ්‍ය තාන්ත්‍රික සහ නීතිය බලාත්මක කිරීමේ භූමිකාවන්, සාර්ථකව ඉටුකිරීම වෙනුවෙන් වසර 73 ක් කැපවීමෙන් සිදුකළ අනභිභවනීය දායකත්වය, ඉදිරියටත් අඛණ්ඩව සිදුකිරීම ඔබ අප සැමගේ වගකීම බව පවසන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, නාවික හමුදාවට පැවරී ඇති එම සුවිශේෂී කාර්යය භාරය කාර්යාක්‍ෂමව හා ඵලදායි ලෙස ඉටුකිරීම සඳහා නිලධාරීන්, ජ්‍යේෂ්ඨ නාවිකයන් සහ කණිෂ්ඨ නාවිකයන් අතර ශක්තිමත් බැඳීමක් නිරතුරුව පවත්වාගත යුතු බවත්, එමඟින් ඕනෑම අභියෝගාත්මක කාලවකවානුවක වුවද බාහිර පාර්ශවයන් ගේ බලපෑම් වලට හසුනොවී නාවික හමුදා පුද්ගලයන්ගේ ගැටළු සාමුහිකව විසඳා ගනිමින්, නාවික හමුදාවේ කාර්යය භාරය ඉටුකිරීම‍ වෙනුවෙන් අධිෂ්ඨානශීලිව කැපවිය හැකි බවත් පවසන ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ඇතුළු නාවික හමුදා කළමනාකරණ මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා ඇතුළු විධාන ආඥාපතිවරුන්, ධජ නිලධාරීන් සියළුම ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නාවිකයින්, ජ්‍යේෂ්ඨ, කනිෂ්ඨ හා කාන්තා නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.