නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය Wave “N” Lake උත්සව ශාලාවේදී උත්කර්ශවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සහයෝගයෙන් සහ නාවික හමුදා වාද්‍ය වෘන්දය සහ එක්ව සංවිධානය කරන ලද නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය - 2023, “Silent Christmas, Silent Navy” යන තේමාව පෙරදැරිව 2023 දෙසැම්බර් මස 22 වන දින වැලිසර නාවික පරිශ්‍රයේ Wave “N” Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන්, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හා එම මැතිණිය ගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා එම මැතිණිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ හා එම මැතිණිය ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

සෑම වර්ෂයකම දෙසැම්බර් මාසයේදී අසිරිමත් නත්තල් උදාව වෙනුවෙන් නාවික හමුදා කැරොල් ගී ප්‍රසංගය වාර්ෂිකව සම්ප්‍රදායක් ලෙස පවත්වනු ලබන අතර, මෙවර කැරොල් ගී ප්‍රසංගය වෙනුවෙන් Wave “N” Lake පරිශ්‍රය අලංකාරවත් විදුලි බුබුළු සහ නත්තල් සැරසිලි මඟින් විචිත්‍රවත්විය. ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණිය විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චිත්‍රානී ගුණරත්න මැතිණිය උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය ආරම්භ කෙරිණි.

නාවික හමුදාධිපතිගේ මඟපෙන්වීම යටතේ අසිරිමත් නත්තල් උළෙලට සමගාමීව සංවිධානය කරන ලද මෙම කැරොල් ගී ප්‍රසංගයේදී දිවයිනේ ප්‍රකට කලාකරුවන් මෙන්ම, නාවික හමුදා පුද්ගලයින්, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහ නාවික හමුදා පවුල්වල දූ දරුවන් විසින් ගීත ගායනා කරන ලද අතර, නාවික හමුදා වාද්‍ය වෘන්දයේ සහ නර්ථන කණ්ඩායමේ විචිත්‍රවත් ගායන සහ නර්තන අංගයන් ගෙන් සහ කඳාන De Mazenod විද්‍යාලීය කැරොල් ගී ගායනාවන් ගෙන්ද නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය වර්ණවත් විය.

අසිරිමත් නත්තල් උදාව වෙනුවෙන් සංවිධානය කෙරුණු මෙම කැරොල් ගී ප්‍රසංගය සඳහා විශ්‍රාමික නාවික හමුදාධිපතිවරුන් ඇතුළු විශ්‍රාමික නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා ඇතුළු විධාන ආඥාපතිවරුන්, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් පූජිත විතාන, නාවික හමුදා ක්‍රීස්තියානි සංගමයේ සභාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ඇතුළු නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, ධජ නිලධාරීන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් සහ නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.