ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් 29 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවට ඉඳුරාම බඳවාගත් නිලධාරීන් විසිනව දෙනෙකු (29) විසිරයාමේ උත්සවය, ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 දෙසැම්බර් 29) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.

ඒ අනුව, සාර්ථකව පුහුණුව අවසන්කළ 1/2022 ඉඳුරාම බඳවාගැනීමට අයත් නිලධාරීන් විසිනව දෙනෙකු (29) විසිරයාමේ උත්සවයේදී, පුහුණු කාලසීමාව තුල සුවිශේෂි දක්‍ෂතා දැක්වූ නිලධාරීන් වෙත කුසලාන හා සම්මාන ප්‍රදානය කිරීම ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි. ඒ අනුව, 1/ 2022 ඉඳුරාම බඳවාගැනීමට අයත් නිලධාරීන්ගේ දක්‍ෂතම නිලධාරියාට හිමි සම්මානය වැඩ බලන උප ලුතිනන් ජේඒඑල්ඩී කුමාරි විසින් හිමි කර ගන්නා ලදි. එමෙන්ම, දක්‍ෂතම වෙඩික්කරු සම්මානය වැඩ බලන උප ලුතිනන් ඒපී රණතුංග විසින් සහ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය වැඩ බලන උප ලුතිනන් ඒඑස්එස් විජේසිරි විසින්ද එහිදී ප්‍රධාන ආරාධිතයා වෙතින් හිමිකරගන්නා ලදි.

එහිදී අදහස් දැක්වූ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, විසිරයන නිලධාරීන් හට පළමුව සිය සුභ පැතුම් පිරිනමන ලද අතර, මව්බිම වෙනුවෙන් සේවය කිරීම සඳහා සිය දරුවන් නාවික හමුදාවට බැඳීමට දිරිමත් කළ ඔවුන්ගේ දෙමව්පියන් වෙතද සිය කෘතඥතාවය පල කර සිටින ලදී. තවද, මෙම උත්සව අවස්ථාව නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සහ සංස්කෘතික නර්ථන කණ්ඩායමේ විචිත්‍රවත් නර්ථන අංගයන්ගෙන්ද වර්ණවත් විය.

මෙම විසිර යාමේ උත්සවය සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් මෙන්ම විසිරයන නිලධාරීන්ගේ ඥාතීන් පිරිසක් ද සහභාගිවී සිටියහ.