අභිමානවත් 76 වැනි නිදහස් දිනය වෙනුවෙන් නාවික හමුදාව ජාතිය වෙනුවෙන් වෙඩි මුර උත්තමාචාර 25 ක් පිරිනමයි

“හදමු අලුත් රටක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් පැවති 76 වැනි අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේදී, අද දින (2024 පෙබරවාරි 04) මධ්‍යහ්න 1200 පැයට එම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ලක්‍ෂමණ් අමරසිංහ ගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.

වෙඩිමුරයක් පවත්වා උත්තමාචාර පුද කිරීමේදී ලබාදිය හැකි උපරිම වෙඩිමුර ප්‍රමාණය 25 ක් වන අතර, එය ජාතිය වෙනුවෙන් පිරිනැමේ. ඒ අනුව අද දින (2024 පෙබරවාරි 04) 76 වැනි අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ජාතිය වෙනුවෙන් පිරිනමන වෙඩි මුර උත්තමාචාරය මෙලෙස ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේදී පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කළ අතර, මෙම අවස්ථාව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මහජනතාව වෙත සජීවීව දැක ගැනීම සඳහා පහසුකම් සැලසීමටද නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

14 වන ශතවර්ශයේ සිට වෙඩිමුර චාරිත්‍රය යුද නෞකාද අනුගමනය කර තිබෙන අතර, මෙහිදී යුද නෞකාවක් මිතුරු රාජ්‍යයකට ඇතුලුවිමේදී නෞකාවේ ඇති අවිවලට පුරවා ඇති උණ්ඩ දල්වා අවිය නිරායුධ කර ඇති බවට සහතික කර ඇත. එමෙන්ම, මිතුරු රටේ වෙරළ ආරක්ෂාව සඳහා තබා ඇති අවිද එම අවි වලට පුරවා ඇති උණ්ඩ ආරක්ෂිත දිශාවකට එල්ල කර දල්වා අවිය නිරායුධ බවට පැමිණෙන නෞකාවට සහතික කර තිබෙන අතර, මෙය පසුකාලින ආචාර කිරීමේ චාරිත්‍රයක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෙඩිමුර ඉතිහාසය දෙස බැලීමේදී මුල් වතාවට නිදහස් දිනයක් වෙනුවෙන් වෙඩි මුර 15 ක ආචාරයක් රාජකීය නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී 1948 වර්ෂයේදී පවත්වා ඇත. 1949 වර්ෂයේදී එක් අවියක් උපයෝගී කරගනිමින් මෙම වෙඩිමුර උත්තමාචාරය විජය නෞකාවේදී පවත්වා ඇත. මෙම වෙඩිමුර ආචාරය නාවික හමුදාව 1948 වර්ෂයේ සිට අඛණ්ඩව පවත්වා ඇති අතර, ආරම්භයේදී ප්‍රථම වෙඩිමුර උත්තමාචාරය ගාලු මුවදොර පිටියේදීත්, පසුව නෞකා මත දීත් අනතුරුව, කොළඹ වරායේ ගෝල් බක් බේ ස්ථානයේ සහ කොළඹ ප්‍රදිපාගාර පරිශ්‍රයේදීත් පවත්වා ඇත.

73 වන නිදහස් දිනයට සමගාමීව ජාතිය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාර පිරිනැමීම ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේදීත්, 74 වන නිදහස් දිනය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාරය පිරිනැමීම ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේදීත්, පසුගිය 2023 වර්ෂයේ 75 වන නිදහස් දිනය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාරය පිරිනැමීම ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව මතදීත් සිදුකෙරුණු අතර, නාවික හමුදාව විසින් සිදුකල අතර, 76 වන නිදහස් දිනය නිමිත්තෙන් ජාතිය වෙනුවෙන් අද දින (2024 පෙබරවාරි 04) වෙඩිමුර උත්තමාචාර 25 ක් පිරිනැමීම මෙලෙස ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මතදී සිදුකෙරිණි.

වෙඩි මුර උත්තමාචාරය පැවැත්වෙන අවස්ථාවේ නෞකාවේ කුඹගසෙහි විශේෂ ධජ සැරසිල්ලක් සිදුකරනු ලබන අතර, ධජ මගින් කියවෙන ඉංග්‍රීසි අක්ෂර සහ ඉලක්කම් උපයෝගී කරගනිමින් වෙඩිමුර උත්තමාචාරය “ 25 Gun Salutes for the Nation” ලෙස අර්ථ ගැන්වෙන ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේ කුඹගස සැරසීම සිදු කෙරිණි.

76 වන නිදහස් දින උළෙලට සමඟාමීව ජාතිය වෙනුවෙන් වෙඩිමුර 25ක් පැවැත්වීම ශ්‍රීලංනානෞ සයුර නෞකාවේ සවිකළ මිලි මීටර 47 වර්ගයේ අවි 04ක් මඟින් සිදුකෙරුණු අතර, ආචාර වෙඩිමුර කණ්ඩායම ශ්‍රීලංනානෞ සයුර නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ලක්‍ෂමණ් අමරසිංහ, විධායක නිලධාරී කොමාණ්ඩර් ලියනගේ විරාජ් සහ අවි නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් ඩබ්එම්සීපී විතාරණ යන නිලධාරීන්ගෙන් සමන්විත විය.