කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යය උත්කර්ශවත්ව පැවැත්වීම සඳහා නාවික හමුදා සහය

ඉන්දු - ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, යාපනය පදවියේ රදගුරු, ගරු ජස්ටින් ඥානප්‍රකාසම් පියතුමාගේ මෙහෙයවීමෙන් 2024 පෙබරවාරි මස 23 සහ 24 දෙදින උත්කර්ෂවත්ව පැවැත්වීමට, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් කටයුතු සූදානම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපනය කිරීමේ කටයුතු මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෙන් සිදු කරනු ලබයි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ අධීක්ෂණයෙන්, කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් තාවකාලික ජැටි ඉදි කිරීම පානීය ජලය, සනීපාරක්‍ෂක පහසුකම්, තාවකාලික කුටි සහ තාවකාලික මංමාවත් සකස් කිරීම මෙන්ම විදුලි බල පහසුකම් ස්ථාපනය කිරීමද මේ දිනවල කඩිනමින් සිදුකරමින් පවතියි.

එමෙන්ම, බැතිමතුන්ගේ ආරක්‍ෂාව සඳහා ජීවිතාරක්‍ෂක කණ්ඩායම් යෙදවීමට අවශ්‍ය ස්ථාන හඳුනා ගැනීම හා වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා තාවකාලික ගිලන්හලක් ඉදිකිරීමද නාවික හමුදාව විසින් සිදුකරනු ලබන අතර, නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිකරන ලද කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ තීන්ත ආලේප කිරීම ඇතුළු අළුත්වැඩියා කටයුතු සහ දේවස්ථානය අවට ප්‍රදේශය හා මංමාවත් එළි පෙහෙළි කිරීම හා පිරිසිදු කිරීම ද නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි.

වාර්ෂිකව පැවැත්වෙන මෙම දේව මංගල්‍යය සඳහා මෙම වසරේ ඉන්දියානු හා ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. ඒ අනුව, කන්කසන්තුරය සහ කුරිකඩ්ඩුවාන් සිට කච්චතිව් දූපත දක්වා පූජකවරුන්, රජයේ නිලධාරීන්, විශේෂ පුද්ගලයින්, බැතිමතුන්, දෙස් විදෙස් මාධ්‍යවේදින් හා දේව මෙහෙය සඳහා අවශ්‍ය විවිධ භාණ්ඩ හා උපකරණ නාවික හමුදාවේ අධීක්ෂණයෙන් ආරක්‍ෂිතව මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීම සඳහා කටයුතු සම්පාදනය කරමින් පවතියි.