මැදවච්චිය ප්‍රදේශයේ පාසල් තුල සනීපාරක්‍ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා නාවික හමුදා සහාය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරයක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රදේශයේ පිහිටි අ/පුල්එළිය විද්‍යාලය, අ/තුලාවෙල්ලිය විද්‍යාලය සහ රඹෑව ගිනිකටුවැව විද්‍යාලයේ, නාවික හමුදා ශිල්පීය හා ශ්‍රමදායකත්වයෙන් සහ විදේශයක පදිංචි දානපතියෙකුගේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකෙරුණු සනීපාරක්‍ෂක පහසුකම් සිසු අයිතියට පත් කිරීම, 2024 පෙබරවාරි 05 වන දින එම විද්‍යාලයන්හීදී සිදුකෙරිණි.

ඒ අනුව, නාවික හමුදා සමාජ සත්කාරක වැඩසටහන යටතේ උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නලින් නවරත්න ගේ අධීක්‍ෂණයෙන්, උතුරු මැද නාවික විධානයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ශිල්පීය හා ශ්‍රමදායකත්වයෙන් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි දානපතියෙකුගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකෙරුණු මෙම අංග සම්පූර්ණ සනීපාරක්‍ෂක පහසුකම් හේතුවෙන් එම විද්‍යාලයන්ගේ අධ්‍යාපනය ලබන දැරියන්ගේ පරිහරණය සඳහා අත්‍යාවශ්‍යව තිබූ පහසුකමක් සපුරා දීමට නාවික හමුදාවට අවස්ථාව උදාවිය.

එමෙන්ම, දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කරදීම සදහා නාවික හමුදාව මගින් සිදුකල මෙම සමාජ සත්කාරක වැඩසටහන් විදුහල්පතිවරු ඇතුළු ගුරු භවතුන්ගේ විශේෂ පැසසුමට ලක්විය.

තවද, මෙම පහසුකම් සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් එම්ඒඑල් පෙරේරා ඇතුළු උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයන්, විදුහල්පතිවරුන්, ගුරුභවතුන් සහ සිසු දැරියන් පිරිසක් සහභාගී වී සිටියහ.