මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අබ්දුල් රහීම් අබ්දුල් ලතීෆ්, නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අබ්දුල් රහීම් අබ්දුල් ලතීෆ් (Chief of Defence Force of Maldives National Defence Force (MNDF) Lieutenant General Abdul Raheem Abdul Latheef) අද දින (2024 පෙබරවාරි 08) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

ඒ අනුව, මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ ප්‍රධානී වෙත විශේෂ සම්මාන මුරයක් මඟින් හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ආචාරය පුදකර නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ඇතුළු කළමණාකරණ මණ්ඩලය මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ ප්‍රධානී වෙත හඳුන්වා දීම සිදු කෙරිණි.

මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ ප්‍රධානී අතර ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර පවත්නා දිගුකාලීන මිත්‍රශීලි සබඳතාවය ඇතුළු ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.