ඉන්දියානු සාගර කලාපීය තොරතුරු හුවමාරු කිරීමේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය පිලිබඳ පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වෙයි

2024 පෙබරවාරි මස 05 වන දින සිට දින 05 ක් පුරා කොළඹ මැන්ඩරින් හෝටලයේදී පැවති ඉන්දියානු සාගර කලාපීය තොරතුරු හුවමාරු කිරීමේ (Indian Ocean Regional Information Sharing -IORIS) සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය පිලිබඳ (Standard operation procedure- SOP) දකුණු ආසියා පාඨමාලාව 2024 පෙබරවාරි මස 09 වන දින සාර්ථකව නිමාවට පත් වූ අතර, එහි සහතික ප්‍රදානය නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරීස් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඉන්දියානු සාගර කලාපීය තොරතුරු හුවමාරු කිරීමේ ක්‍රමවේදය (IORIS); සමුද්‍රීය ආරක්ෂක තර්ජන, නීති විරෝධී ක්‍රියාකාරකම් සහ සෙවීම් හා මුදවා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධ තීරණාත්මක තොරතුරු හුවමාරු කර ගැනීමට පහසුකම් සපයන සමුද්‍රීය කලාප දැනුවත් කිරීම සඳහා අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස ක්‍රියාත්මක වේ.

ඒ අනුව, හිටපු නාවික හමුදාධිපති වරයෙක් වන අද්මිරාල් පියල් ද සිල්වා (විශ්‍රාමික) ඇතුළු Crimario II ආයතනයේ උපදේශකයින් විසින් මෙහෙයවන ලද මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් තිදෙනෙක් (03), ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් (02), ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ එක් නිලධාරියෙක් (01), බංගලාදේශ නාවික හමුදාවේ නිලධාරීන් තිදෙනෙක් (03), මාලදිවයින් ජාතික ආරක්ෂක බළකායේ නිලධාරීන් දෙදෙනෙක් (02) සහ මාලදිවයින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ එක් (01) නිලධාරියෙක් සහභාගී විය.

සමුද්‍රීය අභියෝග සඳහා ප්‍රතිචාර දැක්වීමේදී ඒකාබද්ධ ප්‍රවේශයක වැදගත්කම හඳුනා ගනිමින්, මෙම තොරතුරු හුවමාරු කිරීමේ ක්‍රමවේදය ඵලදායී ලෙස භාවිතා කිරීමේ සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් පාඨමාලාවට සහභාගීවූවන් වෙත පුහුණුවක් ලබාදීම සහ ඉන්දියානු සාගර කලාපීය තොරතුරු හුවමාරු කරගැනීමේ ක්‍රමවේදය (IORIS) සහ සම්මත මෙහෙයුම් ක්‍රියා පිළිවෙත (SOP) ඵලදායී ලෙස භාවිතා කිරීමට අවශ්‍ය නිපුණතාවය සහ දැනුම පාර්ශවකරුවන්ට ලබා දීමත්, සමුද්‍රීය කලාප පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමත්, සමුද්‍රීය වපසරිය තුල නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සහ සාගර කලාපයේ ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමත් මෙම ධාරිතා වර්ධන පුහුණු පාඨමාලාව මඟින් අපේක්ෂා කෙරිණි.