ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) සැමරුම් දින මාර්ග ධාවනය - 2024 කොළඹදී පැවැත්වේ

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල දින (Council International Military Sports-CISM ) සැමරුම් මාර්ග ධාවනය - 2024, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 පෙබරවාරි 18) කොළඹදී පැවැත්වුනු අතර, ඒ සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

‘ක්‍රීඩාව තුළින් මිත්‍රත්වය’ යන ආදර්ශපාඨය පෙරදැරිව 1948 වර්ෂයේ පෙබරවාරි මස 18 වන දින ආරම්භ වී ඇති ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය (CISM) ලොව විශාලතම බහුවිධ සංවිධානයක් වන අතර, එය සාමාජික රටවල් 140 ක සන්නද්ධ හමුදාවන් සඳහා විවිධ ක්‍රීඩා ඉසව් සංවිධානය කරනු ලබන සහ ලොව විශාලතම ක්‍රීඩා ඉසව් සංඛ්‍යාවක් නියෝජනය කරනු ලබන ගෝලීය ක්‍රීඩා සංවිධානයකි.

මෙවර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සංවිධායකත්වයෙන් පවත්වන ලද ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය, පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසලින් ආරම්භ වී කිලෝමීටර 02 කට අධික දුරක් ආවරණය කරමින් යුද්ධ හමුදා මුලස්ථානය අසලින් නිමාවට පත් විය. තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත සහතිකපත්‍ර ප්‍රදානය කිරීමද සිදුකෙරිණි.

මෙම මාර්ග ධාවනය සඳහා යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් මෙන්ම, ආබාධිත රණවිරුවන් පිරිසක් ද සහභාගි වී සිටියහ.