ඉරාන නාවික හමුදාවට අයත් IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකාවන් නිල සංචාරයන් නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 පෙබරවාරි මස 16 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉරාන නාවික හමුදාවට අයත් IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකාවන්, එම නිල සංචාරයන් සාර්ථකව අවසන් කරමින්, අද දින (2024 පෙබරවාරි 19) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාවන් වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

IRINS ‘Bushehr’ නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් MAHDI BALVARDI සහ ‘Tonb’ නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් MOHAMMAD HAJI ZADEH විසින් බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් අතර නිල හමුවන් බටහිර නාවික විධාන මූලස්ථානයේදී හා නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරුණු අතර, එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවන්ද සිදු කෙරිණි.

එමෙන්ම, නෞකාවන්ගේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පිළිබඳ නිරීක්‍ෂණය සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යභට නිලධාරීන් හට අවස්ථාව හිමි වූ අතර, නෞකාවන් දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුලදී එහි නැව් මුළුවන්, ජාතික ආරක්ෂක විද්‍යායතනය, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවන් සඳහා සහභාගී වීමට කටයුතු කෙරිණි.

තවද, මෙම නෞකාවන් දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුලදී එහි නැව් මුළුවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් සඳහා සහභාගී වූ අතර, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද කටයුතු කල අතර, මෙම නෞකාවන් නිරීක්ෂණය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී වීමද සිදුකෙරිණි.