රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක 2024 ජනවාරි මස 16 වන දින සිට පත්කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක වෙත නිල වශයෙන් අද දින (2024 පෙබරවාරි 21) නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, 1987 වර්ෂයේදී 17 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී ඇත. ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර, 1989 වර්ෂයේ උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, සිය උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව 1992 වර්ෂයේදී ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී සාර්ථකව හදාරා, 1997 වර්ෂයේදී ජලතරණය සම්බන්ධ විශේෂඥතාව ඉන්දියාවේ ජලතරණ මෙහෙයුම් පාසල වෙතින් ලබා ඇති අතර, ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින් 2021 වර්ෂයේ ජූලි මස 01 වන දින ඔහු රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික යුද පුහුණු විද්‍යාලයෙන් 2005 වර්ෂයේ මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන ඔහු, 2017 වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ වොලොන්ග්ගොන්ග් විශ්ව විද්‍යාලයෙන් සමුද්‍රීය ප්‍රතිපත්ති සම්බන්ධ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත. තවද, ඔහු චිනයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් Military Science and Security Studies පාඨමාලාව හදාරා ඇති අතර, ඔහු 2016 වර්ෂයේදී ඉන්දියාවේ ගෝවා හි පිහිටි නාවික යුද පුහුණු විද්‍යාලයෙන් කලාපීය සමුද්‍ර ආරක්‍ෂක (Regional Maritime Security) පාඨමාලාවද සාර්ථකව හදාරා ඇත.

තිස් වසරකට ආසන්න කාලයක් මෙරට වෙලාගෙන පැවති ත්‍රස්තවාදය පිටුදැකීමේ මෙහෙයුම් සඳහා සක්‍රීයව දායකවී සතුරාට එරෙහිව සිදුකල නිර්භීත ක්‍රියා වෙනුවෙන් රණවික්‍රම පදක්කමෙන් සහ රණශූර පදක්කමෙන් දෙවතාවක් පිදුම් ලබා ඇති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, ඔහුගේ අගනා සේවය හා නොකැළැල් චරිතය සහ රාජකාරියට කැපවීම වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලබා ඇත. එමෙන්ම, ඔහුගේ දක්ෂතාවය කැපවීම සහ ආදර්ශමත් කාර්ය සාධනය ඇගයීම වෙනුවෙන් නාවික හමුදාධිපතිවරුන් විසින් අවස්ථා හතරකදී (04) ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කර ඇත.

සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිලතල රාශියක් දරා ඇති ඔහු, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද ඔහු, කොමදෝරු මුහුදු පුහුණු හා වෙළඳ නාවික පුහුණු පාසලේ ප්‍රධානී, අධ්‍යක්‍ෂ නාවික ප්‍රතිපත්ති හා සැලසුම්, ගිණිකොණ නාවික විධානයේ ආඥාපති, උතුරු මැද නාවික විධානයේ ආඥාපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස කටයුතු කර ඇත.

එමෙන්ම, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත් වීමට පෙර නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කල කිර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. තවද, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක දක්‍ෂ ස්කොෂ් ක්‍රිඩකයෙකු වන අතර, දෙවන ශ්‍රේණියේ ස්කොෂ් පුහුණුකරුවෙකු හා ජාත්‍යන්තර මට්ටමේ විනිසුරුවරයෙකුද වේ.

රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ ආදරණීය බිරිඳ අනූෂා රත්නායක මහත්මිය වන අතර, අනුප රත්නායක (අවු 23) සහ සෙනුප රත්නායක (අවු 16) ඔවුන්ගේ පුතණුවන් දෙදෙනා වේ.