නාවිකයන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් නව සිව්මහල් නිවාඩු නිකේතනයක් සඳහා මුල් ගල තබයි

නාවිකයන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් නවීන පහසුකම් සහිත සිව්මහල් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අද දින (2024 පෙබරවාරි 22) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් කතරගම නාවික නිවාඩු නිකේතන පරිශ්‍රයේදී සිදු කෙරිණි.

නාවික හමුදා බෞද්ධ සංගමයේ මූල්‍යමය දායකත්වයෙන් සහ නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ඉදිකිරීමට නියමිත මෙම නිවාඩු නිකේතනය මඟින් එකවර 90 දෙනෙකු වෙත නවාතැන් පහසුකම් සපුරා ගැනීමට හැකියාව ඇත.

තවද, මෙම මුල්ගල තැබීමේ අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු හා නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති රියර් අද්මිරාල් රවී රණසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ දකුණු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.