ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමණාකරනය හා සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇතුළු ඇමෙරිකානු දූත පිරිසක් විජයබාහු නෞකාවේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමණාකරනය හා සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් හා එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වශයෙන් කටයුතු කරනු ලබන රිචඩ් ආර්. වර්මා මහතා (Richard R. Verma) සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ජූලි චංග් මහත්මිය ඇතුළු දූත පිරිසක් අද දින (2024 පෙබරවාරි 23) ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ නිරීක්‍ෂණ සංචාරයක් සඳහා සහභාගී වූ අතර, ඒ සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බංඩාර තෙන්නකෝන් මැතිතුමා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු පිරිසක් එක් විය.

මෙම නිරීක්‍ෂණ සංචාරය සඳහා සහභාගී වූ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමණාකරනය හා සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇතුළු ඇමෙරිකානු දූත පිරිස වෙත නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක් සිදුකෙරිණි. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ධාරිතා සංවර්ධනය වෙනුවෙන් මෙන්ම පුහුණු කටයුතු සිදුකිරීම සහ ඒ සඳහා පහසුකම් සැලසීම ඇතුළු විවිධ ක්‍ෂේත්‍රයන් ඔස්සේ නාවික හමුදාවේ හැකියාවන් වර්ධනය කිරීම උදෙසා ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් සිදුකෙරෙන අඛණ්ඩ සහය සහ හවුල්කාරීත්වය පිළිබඳ එම දූත පිරිස දැනුවත් කිරීම ඔහු විසින් සිදුකෙරිණි.

රිචඩ් ආර්. වර්මා මහතා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සම්පත් වෙන් කිරීම් හා කළමාණාකරන ක්‍රියාකාරකම් සම්බන්ධ සමස්ථ අධීක්‍ෂණය සහ මෙහෙයවීම පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රධාන උපදේශක ලෙසද කටයුතු කරනු ලබන අතර, විදේශයන් වෙත සහය ලබාදීමේ වැඩසටහන් සම්බන්ධයෙන් අධීක්‍ෂණය කිරීමද ඔහු විසින් සිදුකරනු ලබයි. ඒ අනුව එහිදී අදහස් දැක්වූ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමණාකරනය හා සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්තුමා, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය අඛණ්ඩව සහය ලබාදෙන බව පවසන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත තවත් ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකෙරෙමින් පවතින බව ප්‍රකාශයට පත් කිරීමද ඔහු විසින් සිදුකෙරිණි.

එහිදී, අදහස් දැක්වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ධාරිතා සංවර්ධනය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදුන් ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකා මඟින් සමුද්‍රීය ආරක්‍ෂාව සහ සමුද්‍රීය නීතිය බලාත්මක කිරීමේ මෙහෙයුම් සාර්ථකව සිදුකිරීමට හැකියාව ලැබී ඇති බව පවසන ලදි. ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන් ශ්‍රී ලංකාවට ආසන්නයෙන් පිහිටි ප්‍රධාන මුහුදු ගමන් මාර්ගයේ ආරක්‍ෂාව සඳහා මෙන්ම, දේශීය ජලතීරයෙන් ඔබ්බට ගොස් ඉන්දියානු සාගර කලාපයේ සහ ගැඹුරු මුහුදේ නිදහස් මුහුදු ගමනාගමනයට අවශ්‍ය ආරක්‍ෂාව සැලසීමේ මෙහෙයුම් සඳහා යොදවන බව පැවසූ නාවික හමුදාධිපති, සමුද්‍රීය ආරක්‍ෂාව තහවුරු කර ස්ථායි සාගර කලාපයක් නිර්මාණය කිරීමේ මෙරට සමුද්‍රීය අභිලාෂය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ධාරිතාවය හා හැකියාවන් වර්ධනය කිරීම උදෙසා ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ලබාදෙන අඛණ්ඩ සහය අගය කිරීමද එහිදී සිදුකෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බංඩාර තෙන්නකෝන් මැතිතුමා, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දිගුකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙරට සමුද්‍රීය වපසරිය තුල ජාතික ආරක්‍ෂක උපායමාර්ග හා හැකියාවන් වැඩිදියුණු කිරීමට මහඟු පිටිවහලක් වී ඇති බව ප්‍රකාශ කරන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා, එමඟින් සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග සාර්ථකව අභිබවනය කරමින්, සමුද්‍රීය මෙහෙයුම් සාර්ථකව සිදුකිරීමටත්, ශ්‍රී ලංකාවට අයත් සෙවීම් සහ මුදවා ගැනීම් කලාපය තුල ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීමේ මෙහෙයුම් කාර්යක්‍ෂමව සිදුකිරීමට හැකියාව ලැබී ඇති බවත් පවසන ලදි. එමෙන්ම, ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රී ලංකාව වෙත සිදුකෙරෙන අඛණ්ඩ සහය සහ හවුල්කාරීත්වය වෙනුවෙන් කෘතවේදීත්වය පලකිරීමද එහිදී රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය තුමා විසින් සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් පිරිසක් මෙන්ම, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ධම්මික විජේවර්ධන, නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් නලීන් ගෝනගල ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.