රුසියානු නාවික හමුදාවට අයත් ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

රුසියානු නාවික හමුදාවට අයත් ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 මාර්තු 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව, දිගින් මීටර් 187 හා නැව් මුළුව පන්සිය විසි නවයකගෙන් (529) සමන්විත අතර, නෞකාවේ ධජ නිලධාරි ලෙස Captain 1st Rank Velichko Anatoly Vasicievich සහ අණදෙන නිලධාරී ලෙස, Captain 2nd Rank Glushakov Roman Nikolaevich කටයුතු කරනු ලබයි.

මෙම නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුල නෞකාවේ ධජ නිලධාරි සහ අණදෙන නිලධාරී විසින් බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා සමඟ නිල හමුවක් පැවැත්වීමට නියමිතව ඇති අතර, එහි නැව් මුළුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.

තවද, මෙම නෞකාව නිල සංචාරය නිමා කරමින් 2024 මාර්තු මස 03 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.