ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය ජනාධිපති වර්ණයෙන් පිදුම් ලබයි

මානුෂීය මෙහෙයුම විජයග්‍රහණය කිරීම වෙනුවෙන් සිදුකල සුවිශේෂී දායකත්වය සහ ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපවත්වා සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කරමින් දේශයේ සමුද්‍රීය අභිලාෂය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සිදුකරනු ලබන අඛණ්ඩ දායකත්වය ඇගයීම වෙනුවෙන්, විශේෂ යාත්‍රා බලඝණය වෙත ජනාධිපති වර්ණ පිරිනැමීම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අද දින (2024 මාර්තු 01) ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ඉතාමත් අභිමානවත්ව සිදුකෙරිණි.

‘විකුමතියට භාග්‍ය ප්‍රසාදිනිය වේ’ යන තේමාව රැගත්, මහ සයුර ගොඩබිම හා ගුවනේ ද විශේෂ සටන් ක්‍රම පිළිබඳ සුවිශේෂී පුහුණුවක් ලත්, වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් දෙවරක් අණදී ඇති මෙම විශේෂ යාත්‍රා බලඝණය, උතුරේ කලපු හා දූපත් ආශ්‍රිත නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීම සඳහා විශේෂ ප්‍රහාරක බලඝණයක අවශ්‍යතාවය සපුරාලමින් 1993 වර්ෂයේ ‍නොවැම්බර් මස 08 වන දින නිලධාරීන් දෙදෙ‍නෙකු සහ නාවිකයන් තිස් අට දෙනෙකුගෙන් සමන්විතව යාපනය, කරෛයිනගර් හීදී, එවකට ලුතිනන් කොමාණ්ඩර් රවීන්ද්‍ර විජේගුණරත්න ගේ මූලිකත්වයෙන් ස්ථාපිත කර ඇත. විශේෂ යාත්‍රා බළඝණය විසින් එහි ආරම්භයේ සිට මේ දක්වා මාතෘ භූමියේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් සිදුකළ වික්‍රමාන්විත ක්‍රියාන්විතයන්හිදී එම බලඝණයේ විරෝධාර නාවික හමුදා පුද්ගලයන් හතළිස් දෙදෙනෙකු රණක්ෂිතයට පත්ව ඇති අතර, නාවික හමුදා පුද්ගලයන් හැට දෙදෙනෙකු ජීවිත පරිත්‍යාග කර ඇත.

ඒ අනුව, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය විසින් මාතෘ භූමියේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් සිදුකළ සුවිශේෂී දායකත්වය සහ ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ ආරක්‍ෂාව වෙනුවෙන් සිදුකරනු ලබන අඛණ්ඩ දායකත්වය ඇගයීම උදෙසා, ජනාධිපති වර්ණ පිරිනැමීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් මෙලෙස අද දින (2024 මාර්තු 01) ඉතාමත් අභිමානවත් අයුරින් සිදුකෙරිණි.

එහිදී, ජනාධිපති වර්ණ පිරිනැමීමේ අවස්ථාව අමතමින් අදහස් දැක්වූ ගරු ජනාධිපති තුමන්, ත්‍රස්තවාදීන්ට එරෙහිව උපක්‍රමිකව ප්‍රහාර එල්ල කිරීම සඳහා ස්ථාපිත කල නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනය මව් බිම වෙනුවෙන් සිදුකල සේවය වෙනුවෙන් ප්‍රසංශාව පළකර සිටින බව ප්‍රකාශ කරන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගරු ජනාධිපති තුමන්, නාවික හමුදාව මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් මෙහෙයුම් සිදුකරන බවත්, රතු මුහුදේ නිදහස් මුහුදු ගමනාගමනයට එල්ලවූ තර්ජනය හමුවේ, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ මෙරට වරායන් වෙත පැමිණෙන නෞකාවන්ට ආරක්ෂාව සැපයීම වෙනුවෙන් නාවික හමුදාව සිදුකළ දායකත්වය අගය කරන බවත් පවසන ලදී. ඉදිරියේදී නාවික හමුදාව සිදුකරනු ලබන මෙහෙයුම් සඳහා දායකත්වය ලබාදෙමින්, විශේෂ යාත්‍රා බලඝණයේ කීර්තිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිය ඉහල නැංවීමට වඩා වැඩි දායකත්වයක් ලබාදීමට, විශේෂ යාත්‍රා බලඝණය වෙත ජනාධිපති වර්ණ පිරිනැමීම මහඟු පිටිවහලක් වනු ඇති බවත් එහිදී ගරු ජනාධිපති තුමන් විසින් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

මීට පෙර අවස්ථා 07 කදී; ශ්‍රී ලංකා නාවික හමුදාව, නාවික හමුදා විධාන, බලඝන, නාවික හා සාගරික විද්‍යා පීඨය සහ ස්වේච්ඡා නාවික හමුදාව ජනාධිපති වර්ණයෙන් පිදුම් ලබා ඇත. ඒ අනුව, 1975 වර්ෂයේ දෙසැම්බර් මස 09 දින ශ්‍රී ලංකා නාවික හමුදාව, 2003 වර්ෂයේ දෙසැම්බර් මස 13 දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය, 2010 වර්ෂයේ දෙසැම්බර් මස 09 දින උතුරු නාවික විධානය, නැගෙනහිර නාවික විධානය හා දියත් විධානය, 2019 වර්ෂයේ ජූනි මස 22 වන දින හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝනය සහ 2023 අගෝස්තු මස 18 වන දින ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව එලෙස ජනාධිපති වර්ණයෙන් පිදුම් ලබා ඇත.

තවද, විශේෂ යාත්‍රා බලඝණයේ සාමාජිකයින් විසින් සුවිශේෂී පුහුණුවෙන් ලද පන්නරය විදහා දක්වමින් නිකල්සන් කෝව් මුහුදු තීරයේ ප්‍රදර්ශනාත්මක අභ්‍යාසයක් සිදුකරන ලද අතර, ඒ සඳහා ශ්‍රීලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක්ද එක්විය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගරු ජනාධිපති තුමා සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, නාවික හමුදාධිපති විසින් ගරු ජනාධිපති තුමා වෙත සමරු තිළිණයක් ලබාදීම ද සිදුකෙරිණි.

එමෙන්ම, මෙම ඓතිහාසික අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ හා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී කපිතාන් ධර්මසිරි හේරත් ගේ ආරාධනයෙන් සම්භාවනීය ආරාධිතයන් ලෙස; නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු සෙන්දිල් තොන්ඩමාන් මැතිතුමා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්ෂාව පිලිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූහ. තවද, හිටපු නාවික හමුදාධිපතිවරුන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ඇතුළු නාවික හමුදා කළමනාකරණ මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ඇතුළු විධාන ආඥාපතිවරුන්, ධජ නිලධාරීන්, විශේෂ යාත්‍රා බලඝණයේ හිටපු අණදෙන නිලධාරීන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගීවී සිටියහ.