ශ්‍රී ලංකාවේ ජපාන, ස්වීට්සර්ලන්ත සහ දකුණු අප්‍රිකානු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානීන් නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු. MizukoshiHideaki මහතා, ස්විට්සර්ලන්ත තානාපතිනී ගරු. Dr. Siri Walt මහත්මිය සහ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් ගරු. Sandile Edwin Schalk මහතා යන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානීන් නිල හමුවක් සඳහා අද දින (2024 මාර්තු 07) ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා හමු විය.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති විසින් ශ්‍රී ලංකාවේ ජපාන, ස්විට්සර්ලන්ත සහ දකුණු අප්‍රිකානු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානීන් එම විධාන මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, එම රාජ්‍ය තාන්‍ත්‍රික ප්‍රධානීන් සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති අතර, ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.

තවද, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ද සහභාගී වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ජපාන, ස්විට්සර්ලන්ත සහ දකුණු අප්‍රිකානු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානීන් සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.