ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 253 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 382 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 253 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය තිස්හත් දෙනෙකු (337) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් හතලිස් පස් දෙනෙකු (45) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සිය අසූ දෙදෙනෙකු (382) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2024 මාර්තු මස 07 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදුකෙරිණි.

ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති සහ අණදෙන නිලධාරී, කපිතාන් නිස්සංක වික්‍රමසිංහ ගේ ආරාධනයෙන් මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස, උතුරු මැද නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් නලීන් නවරත්න සහභාගී වූ අතර, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් වෙත කුසලාන ප්‍රදානය කිරීම එහිදී ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි.

ඒ අනුව, 253 වන බඳවා ගැනීමේ විශිෂ්ඨතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි එච්එස්අයිඒ ප්‍රේමසිරි විසින්ද, සියලුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි ජේකේඑන් ලක්ෂාන් විසින්ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි වයිඑම්ඩීපීබී යාපාරත්න විසින් සහ දක්‍ෂතම ඉලක්කකරුට හිමි කුසලානය ආධුනික නැවි ඩීඑම්පී ජීවන්ත විසින් හිමි කර ගන්නා ලද අතර, 253 වන ආධුනික බඳවා ගැනීමට අයත් දක්‍ෂතම අංශයට හිමි කුසලානය ‘සුරනිමල’ අංශය හිමි කර ගන්නා ලදී.

මෙහිදී විසිර යන ආධුනික නාවිකයන් ඇමතූ උතුරු මැද නාවික විධානයේ ආඥාපති, විසිර යන ආධුනික නාවිකයන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංෂණ පිරිනැමීම සිදුකෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, තම මව්බිම ආරක්‍ෂා කරගැනීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳී ඉතා දුෂ්කර වූත්, කටුක වූත් පුහුණුව සාර්ථකව නිමා කර මහත් අභිමානයෙන් යුතුව විසිර යන 253 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් තුන්සිය අසූ දෙදෙනෙකුගේ (382) විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් අතිශයින් සතුටට පත්වන බවත්, දශක තුනක් පුරාවට පැවති ත්‍රස්තවාදී උවදුරෙන් මුදවා ගත් මෙම දේශයෙහි වෘත්තීමය නාවික හමුදාවක කාර්යභාරය ඉටු කිරීම සඳහා විසිර යන නාවිකයන් හට මින් ඉදිරියට රාජකාරීන් පැවරෙන බවත්, රටේ සංවර්ධන ක්‍රියාවලියේ කොටස්කරුවන් වීමේ මහා කර්තව්‍ය සඳහා ඍජුවම දායකවෙමින්, තම වගකීම් මනාව වටහා ගත් කාර්යශූර විනය ගරුක නාවිකයෙකු ලෙස මව්බිමට විශිෂ්ඨ සේවයක් ලබා දීම විසිර යන නාවිකයන් අදිටන් කර ගත යුතු බවත් ප්‍රකාශ කර සිටින ලදි.

එමෙන්ම, දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, ගොඩබිම මෙන් 27 ගුණයකට වඩා විශාල වූ සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම, මත්ස්‍ය සම්පත ඇතුළු සියලු ජලජ සම්පත් ආරක්‍ෂා කිරීම, නාවික ගමනාගමනය සුරක්‍ෂිත කිරීම, ශ්‍රී ලංකාවට අයත් සෙවීම් හා මුදවා ගැනීමේ කලාපය තුළ අනතුරට පත් වන යාත්‍රා හා පුද්ගලයින් මුදවා ගැනීම වැනි රාජකාරීන් නාවික හමුදාව වෙත පැවරී ඇති බවත්, නාවික හමුදාවට එකතු වන නාවිකයන් මාතෘ භුමියේ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා වන භාරදුර වගකීම සියතට ගත් හා එම වගකීම ඉටුකිරීමට කැප වූ අභිමානවත් ශ්‍රී ලාංකික පුතුන් වශයෙන් ආඩම්බර විය යුතු බවත් ප්‍රකාශ කරන ලදි. රට වෙනුවෙන් සේවය කිරීම සඳහා තම ආදරණීය දූ පුතුන් නාවික හමුදාවට භාරදුන් විසිර යන ආධුනික නාවිකයන්ගේ දෙමාපියන් සහ පවුල්වල සාමාජිකයින් වෙතද සිය ප්‍රණාමය පුද කිරීම එහිදී රියර් අද්මිරාල් නලීන් නවරත්න විසින් සිදුකෙරිණි.

එමෙන්ම, මෙම විසිරයෑමේ පෙළපාලිය විසිර ගිය ආධුනික නාවිකයන් සහභාගී වූ දර්ශනීය සරඹ සංදර්ශනයකින් සහ නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ හා සංස්කෘතික කණ්ඩායමේ විචිත්‍රවත් සංදර්ශනයකින් ද වර්ණවත් විය.

තවද, මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු තුෂාර උඩුගම, අධ්‍යක්‍ෂ නාවික පුහුණු කොමදෝරු බුද්ධික ජයවීර ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු මැද නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ නිලධාරීන් හා නාවිකයින් මෙන්ම විසිර ගිය ආධුනික නාවිකයින්ගේ දෙමාපියන් පිරිසක් සහභාගී වී සිටියහ.