තුන්වන අධියර 64 වන කිමිදුම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නාවිකයින් 17 ක් වෙත නාවික හමුදාධිපති විසින් ලාංඡන පළඳවයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් අංශයේ තුන්වන අධියර 64 වන කිමිදුම් පාඨමාලාව (Clearance Diver III Course – No 64) සාර්ථකව සම්පූර්ණ කළ නාවිකයන් දහහත් දෙනෙකු (17) විසිර යාම හා ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 2024 මාර්තු මස 07 වන දින ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ කිමිදුම් පාසලේදී සිදු කෙරිණි.

කිමිදුම් අංශය සඳහා ස්ව කැමැත්තෙන් අනුයුක්ත වී, මෙම කිමිදුම් පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට සමත් වූ නාවිකයින් වෙත අභිමානවත් කිමිදුම් ලාංඡනය පැළඳවීම සහ මෙම අති දුෂ්කර වූ පුහුණුව තුළ සුවිශේෂි කුසලතා දැක්වූ නාවිකයා‍ට හිමි කුසලානය පිරිනැමීම, නාවික හමුදාධිපති විසින් සිදුකල අතර, එහිදී හොඳම කිමිදුම් නාවිකයාට හිමි කුසලානය සාමාන්‍ය නැවි එම්පීටී සන්දීප විසින් හිමි කර ගන්නා ලදි.

මෙහිදී, පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල කිමිදුම් නාවිකයින් ඇමතූ නාවික හමුදාධිපති, ප්‍රථමයෙන් කිමිදුම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල නාවිකයින් වෙත සිය සුභාශිංෂණ පිරිනැමීම සිදුකෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, මෙම පාඨමාලාව සාර්ථකව නිමකරන ලද නාවිකයින් සම්බන්ධයෙන් ආඩම්බර වන බවත්, මාස හයක (06) අති දුෂ්කර පුහුණුව තුල නාවිකයින් විසින් අභියෝගයන්ට සාර්ථකව මුහුණදෙමින් පුහුණුවෙන් ලද පන්නරය න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම තම වෘත්තීය ජීවිතයට උකහා ගනිමින්, ඉදිරි සේවා කාලය තුලදී නාවික හමුදාවට සහ මව්බිමට තම යුතුකම උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඉටුකිරීමට අදිටන් කරගත යුතු බවත් ප්‍රකාශ කර සිටින ලදි.

එමෙන්ම, මෙම කිමිදුම් පාඨමාලාව සාර්ථකව නිම කිරීම සඳහා දායක වූ නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කිමිදුම් පාසලේ නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින්ට හට සිය කෘතවේදීත්වය පළ කිරීමද නාවික හමුදාධිපති විසින් එහිදී සිදු කෙරුණු අතර, පුහුණුව සාර්ථකව නිම කිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්ය ලබාදුන් පුහුණුව සම්පූර්ණ කල නාවිකයන්ගේ ආදරණීය දෙමාපියන් සහ පවුලේ සාමාජිකයින් වෙතද නාවික හමුදාධිපති විසින් සිය කෘතඥතාවය පළ කිරීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශය වෙතින් නාවික හමුදා කිමිදුම්කරුවන් පුහුණු කිරීම සඳහා පමණක් නොව ත්‍රිවිධ හමුදා විශේෂ බලකා කිමිදුම් කරුවන්ගේ විශේෂඥ කිමිදුම් පුහුණු කටයුතු සඳහාද දායකත්වය ලබා දෙයි. නාවික හමුදා නෞකා බලඇණියේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය දියයට නැව් පතුල පරීක්ෂා කිරීම, අලුත්වැඩියා කිරීම්, නඩත්තු කිරීම් සහ දිය යට සියළු පරීක්ෂා කිරීම් සඳහා නාවික හමුදා කිමිදුම් කරුවන් සුවිශේෂි දායකත්වයක් දක්වන අතර, සංග්‍රාමික අවස්ථාවන්හීදී දිය යට පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම, සවි කිරීම සහ නිෂ්ක්‍රීය කිරීමේ කටයුතු සඳහා කිමිදුම් කරුවන් විශේෂඥ දායකත්වයක් ලබා දෙයි.

එමෙන්ම, මුහුදු ප්‍රදේශයන්ගේ සහ වරාය නිෂ්කාශන මෙහෙයුම් මඟින් දිය යට සෙවීම් සහ ආරක්ෂක නිෂ්කාශනය සඳහා සහය වීම, යාත්‍රා ගොඩ ගැනීම සහ නිෂ්කාශනය කිරීම හා ආපදාවට පත් යාත්‍රා සඳහා කිමිදුම් සහාය ලබාදීම, දිය යට සමීක්ෂණ හා උපකරණ සෙවීම, දිය යට ඉදිකිරීම්, වරාය සහ වරාය ආරක්ෂාව සඳහා දිය යට ආරක්ෂක පද්ධති ස්ථාපනය කිරීම සහ නඩත්තු කිරීම, නාවික සහ නාවික නොවන කාර්යයන් සඳහා අවශ්‍ය දිය යට ඡායාරූපකරණය සහ වීඩියෝ රූගත කිරීම්, මුහුදේ පිහිනන්නන් ගලවාගැනීම හා ගුවනේ සිට මුහුදට වැටෙන පුද්ගලයන් ගලවා ගැනීම වෙනුවෙන් කිමිදුම් කරුවන් යෙදවීම, දිවයිනේ විවිධ ප්‍රදේශ වල ජලාශයන්ගේ සොරොව් අළුත්වැඩියාවන් සහ නඩත්තු කටයුතු සඳහා කිමිදුම් සහය ලබා දීම, ස්වභාවික ආපදාවන්හීදී සහ ජලාශ්‍රිත ප්‍රදේශයන්හි ආපදාවට පත්වන මහජනතාවට සහය වීම ඇතුළු පුළුල් පරාසයක කිමිදුම් මෙහෙයුම් කටයුතු සඳහා නාවික හමුදා කිමිදුම් අංශය දායකත්වය ලබා දෙයි.

එමෙන්ම, නාවික හමුදාවේ සමුද්‍රීය පරිසර සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ කොරල් පරිසරය සංරක්ෂණය සඳහා නාවික හමුදා කිමිදුම් අංශය විශාල දායකත්වයක් දක්වන අතර; උතුර, නැගෙනහිර, වයඹ, බටහිර සහ දකුණු වෙරළතීරයේ කොරල් නැවත සිටුවීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් නාවික හමුදා කිමිදුම් අංශයේ දායකත්වයෙන් සාර්ථකව ක්‍රියාවට නංවා ඇත.

ඒ අනුව, නාවික හමුදා කිමිදුම් අංශය මඟින් සිදුකරනු ලබන කිමිදුම් සහය ලබා දීමේ කටයුතු සඳහා සක්‍රියව දායක වීමට තුන්වන අධියර 64 වන කිමිදුම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල කිමිදුම් නාවිකයන් හට ඉදිරියේදී අවස්ථාව ලැබෙනු ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, ධජ නිලධාරි නාවික දියත් විධානය රියර් අද්මිරාල් චන්දිම සිල්වා, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති හා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ, නාවික හමුදා මූලස්ථානයේ හා නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ කිමිදුම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නාවිකයින්ගේ දෙමාපියන් පිරිසක්ද සහභාගී වී සිටියහ.