දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු රැස්වීම - 2024 කොළඹ දී සාර්ථකව නිමාවට පත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ CRIMARIO II ආයතනයේ සම සභාපතිත්වයෙන් 2024 මාර්තු මස 05 වන දින සිට දින තුනක් (03) පුරා කොළඹදී පැවති දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු රැස්වීම– 2024 (Second Indo Pacific Regional Information Sharing (IORIS) Steering Committee Meeting - 2024), 2024 මාර්තු මස 07 වන දින සාර්ථකව නිමාවට පත් විය.

මෙම රැස්වීම සඳහා ඉන්දු ශාන්තිකර කලාපයේ සමුද්‍රීය නීතිය බලාත්මක කිරීමේ ආයතන ඇතුළු ඉන්දු ශාන්තිකර කළාපීය රාජ්‍යයන් හා සංවිධාන පනස් හයකට (56) අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් නියෝජිතයින් එකසියය තිහකට (130) අධික පිරිසක් සහභාගී වූ අතර, මෙවර රැස්වීමේදී සමුද්‍රීය ආරක්ෂක තර්ජනයන්ට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම සහ ධීවර කර්මාන්තයේ තිරසාරත්වයට අවශ්‍ය සහය ලබාදීම උදෙසා, තොරතුරු සම්බන්ධීකරණය සහ හුවමාරුව පහසු කිරීම සඳහා නිර්මාණය කර ඇති ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ පද්ධතියේ පාලනය ඒකාබද්ධ කිරීම සහ වැඩිදියුණු කිරීම පිළිබඳ පාර්ශ්වකරුවන් අතර අදහස්, අත්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීමට කටයුතු කෙරිණි.

එහිදී, ආරක්‍ෂිත සහ සුරක්‍ෂිත සමුද්‍රීය කලාපයක් වෙනුවෙන් සහයෝගීත්වය ශක්තිමත් කිරීමේ අරමුණින්, මෙම තොරතුරු හුවමාරු කිරීමේ පද්ධතියේ විධානය, පාලනය හා සන්නිවේදනය, දත්ත ගබඩා කිරීමේ ප්‍රතිපත්තිය සහ පරිශීලකයින්ගේ වගවීම සම්බන්ධයෙන් මෙන්ම මෙම තොරතුරු හුවමාරු කර ගැනීමේ පද්ධතියේ ප්‍රතිපත්තිමය හා පරිපාලනමය ගැටළු, නීතිමය, තාක්ෂණික හා මෙහෙයුම් කටයුතු ආදිය සම්බන්ධයෙන් පාර්ශවකරුවන් අතර ඉදිරිපත් කිරීම් සහ කණ්ඩායම් සාකච්ඡා මඟින් ප්‍රධාන වශයෙන් අදහස්, අත්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූ පාර්ශ්වකරුවන් හට මෙරට කඩොලාන පරිසර පද්ධතිය පිලිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් සහ සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් බලපිටිය මාදු ග‍ඟ ඔස්සේ ‍බෝට්ටු සවාරියක් සංවිධානය කෙරුණු අතර, ඒ සඳහා පාර්ශ්වකරුවන් මහත් උද්යෝගයෙන් සහභාගී වූහ.

මෙම දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු රැස්වීම - 2024 අවසන් රැස්වීම් අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් පූජිත විතාන ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් එක් විය.