ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2024 (TRINEX - 24) සාර්ථකව නිමාවට පත්වෙයි

‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2024’ (Trincomalee Naval Exercise - TRINEX 24), 2024 මාර්තු මස 04 වන දින සිට 08 වන දින දක්වා ත්‍රිකුණාමලය වරාය සහ නැගෙනහිර නාවික විධාන මුහුදු තීරය ආශ්‍රිතව සාර්ථකව පැවැත්වුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එම අභ්‍යාසය නිරීක්ෂණය කිරීම ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ සිට සිදුකෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, ධජ නිලධාරි නාවික දියත් විධානය රියර් අද්මිරාල් චන්දිම සිල්වා ගේ අධීක්ෂණයෙන් නාවික හමුදා දියත් විධනය විසින් සංවිධානය කෙරුණු ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය, වරාය අධියර හා මුහුදු අධියර වශයෙන් අධියර දෙකකින් (02) පැවැත්වුනු අතර, 2024 මාර්තු මස 04 වන දින පැවති වරාය අධියරෙහිදී, අභ්‍යාසයට අදාළව පණිවිඩ හුවමාරු ක්‍රම සහ ආරක්‍ෂක ක්‍රමවේදයන් පිළිබඳව අභ්‍යාසයට සහභාගීවන නෞකා හා යාත්‍රාවන්ගේ නාවික හමුදා පුද්ගලයන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කාර්යය මණ්ඩල දැනුවත් කිරීම සහ දැනුම හුවමාරු කරගැනීම සිදුකෙරිණි.

2024 මාර්තු මස 05 වන දින සිට 08 වන දින දක්වා පැවති මුහුදු අධියර සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු, සයුරළ, පරාක්‍රමබාහු, නන්දිමිත්‍ර, සමුදුර, ශක්ති සහ ප්‍රතාප යන නෞකාවන් සමඟ නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ පී 4445, පී 4444, පී 435, පී 436, පී 481, පී 484, පී 464 සහ පී 411 යන වේග ප්‍රහාරක යාත්‍රාවන් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412, බෙල් 212 සහ එම්අයි 17 යන හෙලිකොප්ටර් යානා ද එක් විය.

එහිදී, නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම (SKBDL), මුහුදේදී ඉන්ධන හුවමාරුව (VERTREP), ගුවන් ඡායාරූප ගැනීමේ අභ්‍යාස (PHOTOEX), වෙඩි තැබීමේ අභ්‍යාස (SUTFEX/ CRAA), මුහුදේදී නෞකා වෙත ගොඩවීම, පරීක්‍ෂා කිරීම හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස (VBSS), හෙලිකොප්ටර් යානා මඟින් මුහුදේදී නෞකා වෙත භාණ්ඩ ගොඩබෑම, පරීක්‍ෂා කිරීම හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස (HVBSS), සෙවීමේ හා මුදවා ගැනීමේ අභ්‍යාස (SAREX), නෞකා මතට හෙලිකොප්ටර් ගොඩබැස්සවීමේ අභ්‍යාස, තුවාලකරුවන් ප්‍රථමාධාර සඳහා ඉවත් කිරීමේ අභ්‍යාස (CASEVAC), රාත්‍රී කාලයේ නෞකා පෙළ හැඩයන් ඔස්සේ නැංගුරම් ලා තැබීම (Formation Anchoring) සහ පණිවිඩ හුවමාරු අභ්‍යාස ඇතුළු අභ්‍යාසයන් සිදුකිරීමෙන් අනතුරුව, 2024 මාර්තු මස 08 වන දින සිදු කෙරුණු Steam Past අභ්‍යාසයෙන් පසුව ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2024’ සාර්ථකව නිමාවට පත් විය.

ත්‍රිකුණාමල නාවික අභ්‍යාසයේ අවසානය සනිටුහන් කරමින් ඒ සඳහා සහභාගී වූ නාවික හමුදා නෞකා හා යාත්‍රා, බලඝණ, බළකා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත සමරු තිළිණ ලබා දීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේදී සිදු කෙරිණි. එම අවස්ථාව සනිටුහන් කරමින් ධජ නිලධාරි නාවික දියත් විධානය රියර් අද්මිරාල් චන්දිම සිල්වා විසින් නාවික හමුදාධිපති වෙත විශේෂ සමරු තිළිණයක් ලබා දීමද සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාවට සමඟාමීව, නාවික හමුදා නෞකා බලඇණියේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා නාවික හමුදා දියත් විධානය විසින් පසුගිය 2023 වර්ෂයේදී සංවිධානය කල හොඳම නෞකාව/ යාත්‍රාව තේරීමේ තරඟයෙන් ජයග්‍රහණය කල නෞකා හා යාත්‍රා වෙත සම්මාන පිරිනැමීම ද නාවික හමුදාධිපති විසින් සිදු කෙරුණු අතර, එහිදී හොඳම විශාල නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවද, හොඳම වේග ප්‍රහාරක මුර නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාවද, හොඳම වේග ප්‍රහාරක යාත්‍රාව ලෙස පී 435 ‍වේග ප්‍රහාරක යාත්‍රාවද නාවික හමුදාධිපතිගේ සම්මානයට පාත්‍ර විය.

එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය සාර්ථකව සිදු කිරීම සඳහා කැපවීමෙන් දායක වූ නාවික හමුදා දියත් විධානය ඇතුළු නෞකා, යාත්‍රා, බලඝණ, බළකා වෙත සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත සිය ප්‍රශංසාව පළ කිරීමට කටයුතු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා බළඇණියේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය අපේක්ෂිත මට්ටමට අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා කොළඹ නාවික අභ්‍යාසය (CONEX) බටහිර නාවික විධාන මුහුදු තීරයේදී වාර්ෂික පැවැත්වූ බවත්, ත්‍රිකුණාමලය වරායේ උපායමාර්ගික වශයෙන් ඇති ඵෙතිහාසික වැදගත්කම සැළකිල්ලට ගනිමින්, එම අභ්‍යාසය ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය (TRINEX) ලෙස ත්‍රිකුණාමල වරාය සහ නැගෙනහිර විධාන මුහුදු තීරයේදී මෙලෙස පැවැත්වීමට තීරණය කල බවත් ප්‍රකාශ කරන ලදි.

මෙවැනි අභ්‍යාස මඟින් සාගර කළාපයේ විවිධ අභියෝග ජයගැනීම වෙනුවෙන් සිදුකල යුතු ‍මෙහෙයුම් හා අනුගමනය කල යුතු උපාය හා උපක්‍රම පිළිබඳ දැනුවත් වීමටත්, ඒ සඳහා සූදානම් වීම හා විවිධ මෙහෙයුම් පරිසරයන්ට කෙටි කාලයක් තුළ අනුවර්තනය වෙමින් ඒකාබද්ධ බලකායක් ලෙස සාමූහිකව ප්‍රතිචාර දැක්වීමටත් නාවික හමුදා නෞකා බලඇණියට හැකියාව ලැබෙනු ඇති පැවසූ නාවික හමුදාධිපති, මෙරට සාගරික වපසරිය තුළ ඒකාබද්ධ ‍මෙහෙයුම් සිදු කිරීමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය වීමටත් සහයෝගීත්වය වැඩිදියුණු වීමටත් මෙවැනි අභ්‍යාස මඟින් අවස්ථාව උදාවන බව පවසන ලදි. එමෙන්ම, මෙවැනි අභ්‍යාස මඟින් වැඩිදියුණු වන නව දැනුම හා කුසලතා, ඉදිරියේදී ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපයේ පමණක් නොව ජාත්‍යන්තර මුහුදේ සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග ඇතුළු පොදු සමුද්‍රීය අභියෝග අභිබවනය කිරීම සඳහා අවශ්‍ය මෙහෙයුම් කාර්යක්ෂමතාවය අපේක්ෂිත මට්ටමට පවත්වා ගැනීමටත්, ඉන්දියානු සාගර කළාපයේ ආරක්ෂාව වෙනුවෙන් අනෙකුත් සමුද්‍රීය පාර්ශවකරුවන් සහ සන්ධාන සමඟ ඒකාබද්ධ මෙහෙයුම් සිදු කිරීමටත් මහඟු පිටිවහලක් ගෙන දෙනු ඇති බවත් වැඩිදුරටත් පවසන ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2024’ අභ්‍යාසය සංවිධානය කල නාවික හමුදා දියත් විධානයේ, ධජ නිලධාරි නාවික හමුදා දියත් විධානය රියර් අද්මිරාල් චන්දිම සිල්වා ඇතුළු එම විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2024’ සඳහා එක්වූ නෞකා සහ යාත්‍රාවන්ගේ අණදෙන/ අණභාර නිලධාරීන්, අභ්‍යාසයට එක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන්, සහ නාවික හමුදා මුලස්ථානයේ හා නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.