ඉන්දියානු සාගර වටද්දර සංගම් දිනය (IORA) කොළඹදී සාර්ථකව පවත්වයි

ඉන්දියානු සාගර වටද්දර සංගම් දිනය (IORA Day) සැමරීම නිමිත්නෙත්, ‘අනාගත පරම්පරාව වෙනුවෙන් තිරසාර ඉන්දියානු සාගරයක්’ (Sustainable Indian Ocean for Future Generations) යන තේමාව යටතේ අද දින (2024 මාර්තු 10) ගාලු මුවදොර පිටියේ සංවිධානය කර තිබූ සාගරය හා සම්බන්ධ ක්‍රියාකාරකම් ඇතුළත් ප්‍රදර්ශනය, ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

2023 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (Indian Ocean Rim Association (IORA) සභාපතිත්වය ශ්‍රී ලංකාව උසුලන ලබයි. මාර්තු මස 10 වන දිනට යෙදී තිබෙන ඉන්දියානු සාගර වටද්දර සංගම් දිනය සැමරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ සාගරය හා සම්බන්ධ ක්‍රියාකාරකම් ඇතුළත් මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ප්‍රදර්ශන කුටි 06 ක් ඉදිරිපත් කිරීමට කටයුතු කෙරිණි. එහිදී නාවික හමුදාවේ ප්ලාස්ටික් හා පොලීතීන් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය, කොරල් සංරක්ෂණ ව්‍යාපෘතිය, නාවික හමුදාවට නාවික පුද්ගලයින් බඳවා ගැනීම, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරම්, ජල ශාස්ත්‍රීය කටයුතු සහ නාවික හමුදා කිමිදුම් ක්‍රියාකාරකම් යන නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යය භාරය හා සමුද්‍රීය ක්‍රියාකාරකම් ඇතුළත් ප්‍රදර්ශන කුටි නැරඹීම සඳහා පාසල් ළමුන් ඇතුළු විශාල පිරිසක් ඉතා උනන්දුවෙන් සහභාගී වී සිටියහ.

එමෙන්ම, ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශයන් වෙතින් පැමිණි පාසල් ළමුන් 700 ක පමණ පිරිසක් වෙත නාවික හමුදාවේ ඒ 543 යාත්‍රාවෙන් කොළඹ වරාය නගරය අවට මුහුදු ප්‍රදේශයේ මුහුදු සංචාරයක් ලබා දීමටද එහිදී නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

මෙම අවස්ථාව වර්ණවත් කිරීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් ගාලු මුවදොර පිටියේ විවිධ සංදර්ශන සිදු කෙරුණු අතර, එහිදී සිදු කෙරුණු පැරෂුට් සංදර්ශනය සඳහා නාවික හමුදා පැරෂුට් කණ්ඩායමද එක් විය. එමෙන්ම නාවික හමුදා වාදක වෘන්දයේ හා සංස්කෘතික නර්ථන කණ්ඩායමේ විචිත්‍රාංගයන්ගෙන්ද මෙම අවස්ථාව වර්ණවත් විය.