නාවික හමුදාව මඟින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 15 ක් රෝගීන් වෙත ලබා දීම වෙනුවෙන් මහනුවර උසස් බාලිකා විද්‍යාලය වෙත භාර දෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 15 ක් අවශ්‍ය රෝගීන් වෙත ලබාදීම සඳහා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ‘Interact Club’ යන සංගමය වෙත සංකේතාත්මකව භාර දීම, 2024 මාර්තු මස මුල් සතියේදී එම විදුහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.

තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර මඟින් තැලසීමියා රෝගයෙන් පීඩා විඳින රෝගීන්ගේ ශරීරය තුළ එක්රැස්වන රුධිරයේ අඩංගු වැඩිපුර යකඩ ඉවත් කිරීම සිදු කරනු ලබයි. වෙළදපොළෙහි මෙම නික්ෂේපණ යන්ත්‍ර මිලෙන් ඉතා අධික බැවින්, නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් අඩු පිරිවැයකින් තැලසීමියා නික්ෂේපණ යන්ත්‍රයක් ප්‍රථම වරට 2011 වසරේදී නිෂ්පාදනය කෙරුණු අතර, මේ වන විට තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 2800 ක පමණ ප්‍රමාණයක් දිවයිනේ ජාතික රෝහල් වෙත සහ තෝරාගත් තැලසීමියා රෝගී දරුවන් වෙත අධියර කිහිපයක් යටතේ ලබා දීමට නාවික හමුදාව විසින් කටයුතු කර ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් සංජීව අන්නතුගොඩ සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ‘Interact Club’ යන සංගමයේ සාමාජික සිසු දැරියන් පිරිසක් සහභාගී වී සිටියහ.