ශ්‍රී ලංකා නාවික හමුදා ජාලගත පුස්තකාල කළමණාකරණ පද්ධතිය සහ නැවි 206 ජාලගත පද්ධතිය එළිදැක්වේ

ශ්‍රී ලංකා නාවික හමුදා ජාලගත පුස්තකාල කළමණාකරණ පද්ධතිය සහ නැවි 206 ජාලගත පද්ධතිය එළි දැක්වීම අද දින (2024 මාර්තු 13) නාවික හමුදා මූලස්ථානයේ පැවති නාවික හමුදා කළමණාකරණ මණ්ඩල, ප්‍රාදේශීය බලධාරීන් සහ අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් සිදු කෙරිණි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සංකල්පයක‍ට අනුව, විද්‍යුත් ජාලකරණය සහ මාර්ගගත ක්‍රමවේද නාවික හමුදා පුද්ගලයන්ගේ දැනුම වැඩිදියුණු කිරීම වෙනුවෙන් යොදා ගැනීම සහ නිලධාරීන් වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන නැව් 206 වාර්ෂික තක්සේරු වාර්තා රහස්‍යභාවය සුරැකෙන අයුරින් වඩාත් කාර්යක්ෂමව ඉදිරිපත් කිරීමත් වෙනුවෙන් මෙම නව පද්ධති ස්ථාපනය කිරීම, නාවික හමුදා තොරතුරු තාක්ෂණ අංශයේ ශිල්පීය දායකත්වයෙන් සිදු කෙරිණි.

ඒ අනුව, නිලධාරීන්ගේ නැව් 206 වාර්ෂික තක්සේරු වාර්තා ඉදිරිපත් කිරීම වඩාත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස සිදු කිරීමත්, කඩදාසි භාවිතයෙන් තොර පරිසකරක් නාවික හමුදාව තුළ ප්‍රචලිත කිරීමත් මෙම නැව් 206 ජාලගත පද්ධතිය ස්ථාපිත කිරීම මඟින් නාවික හමුදාව අපේක්ෂා කරනු ලබයි.

එමෙන්ම, අද දින (2024 මාර්තු 12) එළි දැක්වූ ජාලගත පුස්තකාල ක්‍රමවේදය ලොව පුරා සාර්ථකව භාවිතා වන නව පරම්පරාව අතර ඉතාමත් ප්‍රචලිත ක්‍රමවේදයකි. ඒ අනුව, මෙම ජාලගත පුස්තකාල කළමණාකරණ පද්ධතිය මඟින් සෑම නිළයකම කණිෂ්ඨ නිලධාරීන් සහ සෑම තරාතිරමකම නාවිකයන් හට නිශ්චිත කියවීමේ ග්‍රන්ථ මාලාවක් හඳුන්වා දී ඇති අතර, elms.navy.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් නිලධාරීන් සහ නාවිකයින් සඳහා නිර්දේශිත එම ග්‍රන්ථ පරිශීලනය කිරීමට හැකියාව ඇත.

තවද, මෙම ජාලගත පුස්තකාල කළමණාකරණ පද්ධතිය තුළ ඇති නිලධාරීන් සහ නාවිකයන් සඳහා නිර්දේශිත ග්‍රන්ථ මාලාව පරිශීලනයෙන් දැනුම වර්ධනය හා යාවත්කාලීන කිරීමත්, ඉදිරියේදී වෘත්තීය නිපුණ නායකයින් නිර්මාණය කිරීමත් නාවික හමුදාව අපේක්‍ෂා කරනු ලබයි.