සපුගස්කන්ද පුරාණ රජමහා විහාරස්ථ ශ්‍රී ගුණරත්න ධර්ම විද්‍යාලය වෙතින් නාවික හමුදාධිපති වෙත උපහාර පුදයි

සපුගස්කන්ද පුරාණ රජමහා විහාරස්ථ ශ්‍රී ගුණරත්න ධර්ම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත උපහාර පිදීම, කැළණිය විශ්ව විද්‍යාල‍යේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය පාද නාපිරිත්තන් කඩවල ඥානරත්න නාහිමිපාණන්ගේ මූලිකත්වයෙන් අද දින (2024 මාර්තු 17) සපුගස්කන්ද පුරාණ රජමහා විහාරස්ථ ශ්‍රී ගුණරත්න ධර්ම විද්‍යාලයේදී සිදුකෙරිණි.

සපුගස්කන්ද පුරාණ රජමහා විහාරස්ථ ශ්‍රී ගුණරත්න ධර්ම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන නාවික හමුදාධිපති විසින් රට ජාතිය සුරැකීම වෙනුවෙන් සිදුකරන ලද කැපකිරීම සහ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිය උදෙසා වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය වෙනුවෙන් නොමඳව වෙහෙසෙමින් බෞද්ධාගමික පුනර්ජීවනය උදෙසා සිදුකරන ලබන කැපවීම වෙනුවෙන් මෙලෙස උපහාර පුදකිරීම සිදුකෙරිණි.

එමෙන්ම, මෙම උත්සව අවස්ථාව ශ්‍රී ගුණරත්න ධර්ම විද්‍යාලයේ දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලද අංගයන්‍ ගෙන්ද විචිත්‍රවත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, රාජ්‍ය නිලධාරීන්, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය, ශ්‍රී ගුණරත්න ධර්ම විද්‍යාලයේ දරු දැරියන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.