නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතියේ සුවිශේෂී කඩඉමක් පසුකරමින් ‍1000 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීම මහව පාළුකඩවල ශ්‍රී සුමන විද්‍යාලයේදී

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සෘජු අධීක්‍ෂණය මත, නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යපෘතිය යටතේ සුවිශේෂී සංධිස්ථානයක් පසුකරමින් ජාතික ලොතරැයි මණ්ඩල‍යේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ඉදිකිරීමට නියමිත 1000 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීම, 2024 මාර්තු මස 20 වන දින මහව, පාළුකඩවල ශ්‍රී සුමන විද්‍යාල පරිශ්‍රයේදී වයඹ නාවික විධානයේ නියෝජ්‍ය අඥාපති කෝමදෝරු මංජුල හේවා බැට්ටගේ ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට දුශ්කර, ඒ හේතුවෙන් වකුගඩු රෝගී තත්වයට මුහුණදෙන දිවයිනේ විවිධ පාළාත්වල ජීවත් වන මහජනතාව වෙනුවෙන් සහන සැලසීම උදෙසා නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින්; කිවුල් දිය, මුහුදු ජල සහ වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍ර නිර්මාණය කිරීම ආරම්භ කෙරිණි.

ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු තාක්‍ෂණය ලොව පුරා සාර්ථක ජල පිරිපහදු ක්‍රමයක් බව ඔප්පු වී ඇති නමුත්, එම යන්ත්‍ර ආනයනය කර ස්ථාපනය කිරීම වෙනුවෙන් රටට විශාල මුල්‍ය පිරිවැයක් දැරීමට සිදුවන බැවින්, ඊට විසඳුමක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේෂණ සහ සංවර්ධන ඒකකය විසින් දැරිය හැකි මිලකට ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් වැඩිදියුණු කර නියමිත ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කිරීමට මෙලෙස නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, 2015 වර්ෂයේ දෙසැම්බර් මස අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කඩවත්රඹෑව ප්‍රදේශයේ ප්‍රථම කිවුල් දිය ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රය ස්ථාපිත කිරීමෙන් අරඹන ලද මෙම සමාජීය මෙහෙවර ව්‍යපෘතිය යටතේ දිවයින පුරා දිස්ත්‍රික්ක 13ක් ආවරණය කරමින් කිවුල් දිය ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍ර 957ක් සහ මුහුදු ජල ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍ර 16ක් ස්ථාපනය කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසුව වකුගඩු රෝගීන් වාර්තා වීමේ ක්‍රමික අඩු වීමක් ඒ සම්බන්ධ දත්ත වාර්ථාවන්ට අනුව පෙන්නුම් කර ඇත.

එමෙන්ම, දිවයින පුරා රජයේ රෝහල්හි වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍ර 26ක් ස්ථාපිත කර ඇති අතර, එමඟින් දරුණු වකුගඩු රෝගයෙන් පිඩා විදින රෝගීන් හට ප්‍රථිකාර කිරීමේ රුධිර කාන්දුකරණ ඒකක සඳහා අවශ්‍ය ජලය නොකඩවා ලබා දීමට කටයුතු කරනු ලැබ ඇත.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මුලස්ථානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකාරක (නාවික සමාජීය මෙහෙවර) කොමාණ්ඩර් බුද්ධික රන්දිමාල්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, වයඹ නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන්, ජාතික ලොතරැයි මණ්ඩලයේ නියෝජිතයින්, පාළුකඩවල ශ්‍රී සුමන විද්‍යාලයේ විදුහල්පති, ගුරුභවතුන්, සිසු දරු දැරියන් මෙන්ම ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.