කර්නල් ෂියාම් විදුරුපොල (විශ්‍රාමික) විසින් නාවික හමුදා නිලධාරීන් වෙනුවෙන් විශේෂ අභිප්‍රේරණ දේශනයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන්ගේ වෘත්තීයභාවය හා නායකත්ව ගුණාංග වැඩිදියුණු කරගැනීම වෙනුවෙන් වූ වි‍ශේෂ අභිප්‍රේරණ දේශනයක්, 2024 මාර්තු මස 20 වන දින කර්නල් ෂියාම් විදුරුපොල (විශ්‍රාමික) ගේ සම්පත්දායකත්වයෙන් වැලිසර නාවික පරිශ්‍රයේ Wave N’ Lake උත්සව ශාලාවේදී පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

කර්නල් ෂියාම් විදුරුපොල (විශ්‍රාමික) ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පරිපාලන, බුද්ධි සහ මානව හිමිකම් ඇතුළු අංශ ගණනාවක සේවය කර අත්දැකීම් සම්භාරයක් මෙන්ම සංග්‍රාමික අත්දැකීම් සහිත දක්‍ෂ නිලධාරියෙකි. ඔහු සක්‍රීය සේවයේ යෙදී සිටියදී එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශක වශයෙන්ද කටයුතු කරමින් ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගනිමින් රට වෙනුවෙන් විශාල සේවයක් සිදුකර ඇත. ඔහු ආරක්‍ෂක කළමණාකරනය හා සංවර්ධනය සහ මානුෂීය හදිසි ප්‍රතිචාර සම්බන්ධයෙන් ලබා ඇති විශේෂඥතාවය මත ශ්‍රී ලංකා යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේපාලයේ පිහිටි මානව අයිතිවාසිකම් පිළිබඳ කාර්යාලයේ ජ්‍යේෂ්ඨ ආරක්‍ෂක උපදේශක වශයෙන්ද, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ උපදේශකයෙකු වශයෙන් සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරී වශයෙන්ද කටයුතු කර ඇති දෙස් විදෙස් වෘත්තීය අත්දැකීම් සම්භාරයක් සහිත කීර්තිමත් නිලධාරියෙකි.

ඒ අනුව, කර්නල් ෂියාම් විදුරු‍පොල (විශ්‍රාමික) විසින් ඔහු යුද හමුදා සේවයේ යෙදී සිටි කාලසීමාව තුලදී සහ ඉන් අනතුරුව දෙස් විදෙස් ක්‍ෂේත්‍ර ගණනාවක සේවය කරමින් ලද සේවා අත්දැකීම්, අභියෝග සහ උගත්පාඩම් පදනම් කර ගනිමින් නාවික හමුදා නිලධාරීන්ගේ සේවා ජීවිතය නිවැරදිව හැඩගස්වා ගැනීම සඳහා අවධානය යොමු කලයුතු සහ වැඩිදියුණු කරගත යුතු ක්‍ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙම දේශනයේදී අදහස් දැක්වීම සිදුකෙරිණි.

එහිදී නිලධාරීන් තුල ඇති හැකියාවන් හඳුනා ගනිමින් එම හැකියාවන් වැඩිදියුණු කරගැනීම, වෘත්තියට කැපවීම, ජීවිතයේ ඉලක්ක ලඟාකරගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීම, අභියෝග හඳුනාගැනීම සහ ඒ සඳහා ධනාත්මකව විසඳුම් සෙවීම, සාර්ථක සේවා ජීවිතයක් තුලින් පෞද්ගලික ජීවිතය සාර්ථක කරගැනීම, නායකත්ව ගුණාංග වැඩිදියුණු කරගනිමින් තම හැසිරීම පාලනය කරගැනීම හා නාවික හමුදාවේ අභිමානය සුරැකෙන අයුරින් කටයුතු කිරීම ආදිය සම්බන්ධයෙන් සිය දේශනයේදී කර්නල් ෂියාම් විදුරු‍පොල (විශ්‍රාමික) විසින් අවධාරනය කෙරිණි. විශේෂයෙන් සේවා ජීවිතය තුල නව දැනුම, කුසලතා සහ ධනාත්මක ආකල්ප වැඩිදියුණු කරගනිමින් වෘත්තීය නිපුණත්වය ලබාගැනීම තුලින්, නාවික හමුදාව වෙනුවෙන් සහ රට වෙනුවෙන් වඩාත් කාර්යක්‍ෂම හා ඵලදායී සේවයක් ලබාදීමට හැකිවනු ඇති බවත් එහිදී ඔහු වැඩිදුරටත් අවධාරනය කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ඇතුළු නාවික හමුදා කළමණාකරන මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.