මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත් නාවික හමුදා පුද්ගලයින් වෙත විදුලි රෝද පුටු සහ කෘතීම පාද පිරිනමයි

මානුෂීය මෙහෙයුමට සක්‍රීයව දායකවීමෙන් රණක්‍ෂිතයට පත්ව පාද අහිමි වූ නාවික හමුදා පුද්ගලයින් වෙත කෘතීම පාද පිරීනැමීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ තවත් නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙක් වෙත කෘතීම පාද සහ විදුලි රෝද පුටුවක් පිරිනැමීම, 2024 මාර්තු මස 22 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරය ඔයාමඩුව නාවික හමුදා නිලධාරී නිවාඩු නිකේතන පරිශ්‍රයේදී සිදුකෙරිණි.

දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දමා දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් රණවිරුවන් රණක්‍ෂිතයට පත්වෙමින් සහ ජීවිත පරිත්‍යාගයෙන් විශාල කැපකිරීමක් සිදුකර ඇති අතර, එලෙස රණක්‍ෂිතයට පත්ව පාද අහිමි වූ රණවිරුවන් වෙත කෘතීම පාද ලබාදීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරිය විසින් ක්‍රියාවට නංවා ඇත.

ඒ යටතේ නාවික හමුදා සුභසාධක අංශයේ හා නාවික හමුදා සමාජ මෙහෙවර අරමුදලේ දායකත්වයෙන් පාද අහිමි වූ නාවික හමුදා පුද්ගලයින් වෙත කෘතීම පාද පිරිනැමීමේ පළමු අදියර යටතේ නාවික හමුදා පුද්ගලයන් තිදෙනෙකු (03) වෙත කෘතීම පාද සහ විදුලි රෝද පුටුවක් පිරිනැමීම මෙලෙස නාවික හමුදාධිපති විසින් සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නලීන් නවරත්න ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.