ඉන්දියානු සාගර කලාපීය සමුද්‍රීය පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් කොළඹදී සාර්ථකව පවත්වයි

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (United Nations Office on Drugs & Crime - UNODC) සහයෝගයෙන් ඉන්දියානු සාගර කලාපීය සමුද්‍රීය පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2024 මාර්තු මස 26 සහ අද දින (2024 මාර්තු 27) කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය.

Charting Unruly Waters: Enhancing Maritime Domain Awareness In The Indian Ocean Region යන තේමාව යට‍තේ පැවති මෙම වැඩමුළුව සැසි කිහිපයක් යටතේ පැවැත්විණි. එහිදී පළමු සැසිය, State of the Ocean: Maritime Domain Awareness In The Indian Ocean Region යන තේමාව යටතේ පැවති අතර, එහිදී ජාතික සමුද්‍රීය නීතිය බලාත්මක කිරීමේ ආයතනයන්ගේ තාක්ෂණික සැසිය ඉන්දියානු සමුද්‍රීය රටවල්වල නියෝජිතයින් සහ බංගලාදේශ නාවික හමුදා සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකගේ මෙහෙයවීම යටතේ සිදු කෙරිණි.

දෙවන සැසිය, New Horizons: Latest MDA tools, trends and technologies යන තේමාව යටතේ පැවති අතර, දෙවන සැසිය Skylighht, Global Fishing Watch, Joint Analytical Cell සහ Critical Maritime Routes Indo-Pacific (CRIMARIO) ආයතනයන්හි නියෝජිතයින් පිරිසකගේ මෙහෙයවීම යටතේ සිදු කෙරිණි.

එමෙන්ම, තෙවන සැසිය Building Synergies In The IOR : Public, Practitioners, Policymakers යන තේමාව යටතේ පැවති අතර, එය බංගලාදේශයේ පිහිටි සමුද්‍රීය සෙවීම් සහ සංවර්ධන ආයත‍නයේ නියෝජිතයින්, භූ දේශපාලන සිතියම් ශිල්පීන්, මාලදිවයින් රතු අඩ සඳ සහ ජාතික සමුද්‍ර පදනම යන ආයතනයන්හි නියෝජිතයින් පිරිසකගේ මෙහෙයවීම යටතේ සිදු කෙරිණි.

මෙම වැඩමුළුවේ දෙවන දින වන අද දින (2024 මාර්තු 27) සිව්වන සැසිය Connecting the Dots: The Future of MDA in the Indian Ocean Region යන තේමාව යටතේ පැවති අතර, එය Information Fusion Center (IFC) – Indian Ocean Region (IOR), Regional Coordination Operations Center (RCOC), Regional Maritime Information Fusion Center (RMIFC) සහ Information Fusion Center Singapore යන ආයතනයන්හි නියෝජිතයින් පිරිසකගේ මෙහෙයවීම යටතේ සිදු කෙරිණි.

මෙම සමුළුව සඳහා සහභාගී වූ නාවික හමුදාධිපති විසින්, ජාත්‍යන්තර ප්‍රවීණයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ වෘත්තිකයන් එක් කර ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව මෙම දෙදින වැඩමුළු සඳහා සම සත්කාරකත්වය දැක්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන (Global Maritime Crime programme of United Nations Office on Drugs & Crime) වෙත සිය කෘතවේදීත්වය පළ කිරීමට කටයුතු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ඉන්දියානු සාගර කලාපය තුළ සමුද්‍රීය අභියෝග සහ සිදුවීම් පිළිබඳව දැනුවත් කිරීම සහ සාකච්ඡා කිරීම කාලෝචිත බවත්, අනෙකුත් ජාත්‍යන්තර නෛතික ආයතන මඟින් අවධානය යොමු කර ඇති සමුද්‍ර පාලනයේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා ප්‍රායෝගික විසඳුම් සංවර්ධනය කල යුතු බවත් ප්‍රකාශ කර සිටින ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු. Mizukoshi Hideaki, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී Siri Bjune මහත්මිය, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් නිශාන්ත පීරීස් සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.